mediahumanrights.lk
Local News News

පාවහන් හාන්සියි..

ඩොලර් හිඟය හේතුවෙන් මෙතෙක් පාවහන් ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීම, රේගු දැලෙන් රිංගා අනීතිකව මෙරට වෙළඳපොළට විදේශවල නිෂ්පාදිත පාවහන් පැමිණීම, පාවහන් නීත්‍යනුකූලව ආනයනය කළ ද ඊට අදාළ බදු ක්‍රමයේ වරද, නිදහස් වෙළඳ ගිවිසුම්වලින් එල්ල වන බලපෑම් ආදී සියල්ල මගින් යම් වර්ධනයක් අත් කරගෙන තිබූ දේශීය පාවහන් කර්මාන්තය යළි බිඳවැටෙමින් ඇතැයි පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති බුද්ධික විමලසිරි මහතා පෙන්වා දෙයි.

බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් මෙරට පාවහන් කර්මාන්තයේ නියැලී සිටින 15000කට අධික ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය හා මහා පරිමාණ පාවහන් නිෂ්පාදකයන් මෙන්ම කර්මාන්තය තුළ ඍජු හා වක්‍ර රැකියාවල නියුතු ලක්ෂ තුනකට අධික පිරිස ද අපහසුතාවට පත්ව ඇති බව ඒ මහතා සඳහන් කළේය.

අනීතිකව විදේශ රටවල නිෂ්පාදිත පාවහන් මෙරට වෙළඳපොළට පැමිණීම හේතුවෙන් වාර්ෂිකව රටට අහිමි වන බදු මුදල රුපියල් කෝටි 3500ක් බවත් එය දෛනිකව රුපියල් කෝටි දහයක් පමණ වන බවත් විමලසිරි මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, නිතරම දෛනික රාජ්‍ය ආදායම හා වියදම අතර පරතරය පිළිබඳව කතා කරන බවත් රුපියල් කෝටි 625ක් වන එම මුදල, පාවහන් ඇතුළු බදු මුදල් ගෙවීමකින් තොරව අනීතිකව මෙරට පැමිණෙන භාණ්ඩ නිසි පරිදි රේගු දැලට හසු කරගෙන උපයාගත නොහැක්කේ මන්දැයි, ඒ මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

රංජිත් සියඹලාපිටිය ඇමතිවරයාට මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් පාඩමක් උගත හැකි බවත් ඔහු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මැඩලීමට කටයුතු කරන ආකාරයටම රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රමුඛ රේගු දෙපාර්තමේන්තුව හා එක්ව මෙරට රේගු දැලෙන් රිංගන සියලුම භාණ්ඩ අල්ලා බදු මුදල් අය කිරීමට නොහැකියාවක් තිබිය නොහැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම නීත්‍යනුකූලව ආනයනය කෙරෙන පාවහන් සඳහා වන බදු ක්‍රමය නිවැරදි නොවන බවට ද පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපතිවරයා චෝදනා කර සිටි අතර වටිනාකම නොසලකා ඕනෑම පාවහන් යුගලකට අය කරන සමස්ත බදු මුදල රුපියල් 2000ක් බව අනාවරණය කළේය.

මෙම රුපියල් 2000ක සමස්ත බදු මුදලට, රුපියල් 700ක සෙස් බද්දක් සහ රුපියල් 300ක සාමාන්‍ය බද්දක්(General Duty) ද ඇතුළත් වන බව කී විමලසිරි මහතා, රුපියල් ලක්ෂ ගණනක් වටිනා, ලොව ප්‍රමුඛතම සන්නාමයක පාවහන් යුගලක් පවා රුපියල් 300ක සාමාන්‍ය බදු මුදල පමණක් ගෙවා මෙරටට ආනයනය කිරීමට හැකිවීමෙන් එම බදු ක්‍රමයේ ඇති වරද අවබෝධ කරගත හැකි බව ද වැඩිදුරටත් කීය.

අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් පිළිබඳව දිවා-රාත්‍රී දෙසුම් පවත්වන වත්මන් රජය දැන් පාර කපමින් සිටින්නේ ආනයන කේන්ද්‍රීය ආර්ථිකයකට බව කී ඒ මහතා පාවහන් කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු සහ පෙන්වා දුන් කරුණු කෙරෙහි රජයේ කඩිනම් අවධානයක් යොමු විය යුතු බව අවධාරණය කළේය.

– Repoter

Related posts

ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ.. මිල සීමා මෙන්න..

Shiran Viraj

භෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්

Shiran Viraj

රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි

Shiran Viraj