2026-11-11
mediahumanrights.lk
International NewsNews

ඇමරිකානු ප්‍රහාරයන් හමුවේ ඉරානය අයඩින් පෙති බෙදාහරිමින් සූදානම් වෙයි: යුදමය උණුසුම උපරිම මට්ටමට

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) විසින් නැවතත් හමුදා මෙහෙයුම් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමත් සමඟ, ඊට පෙරසූදානමක් ලෙස සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවල සිට කිලෝමීටර 2 සිට 3 දක්වා වූ සීමාව තුළ ජීවත්වන ජනතාව වෙත ‘අයඩින් පෙති’ (iodine tablets) බෙදාහැරීමට ඉරාන රජය පියවර ගෙන ඇත.

එක්සත් ජනපද හමුදාවන්ගෙන් එල්ල විය හැකි තර්ජනයන්ට මුහුණ දීම සඳහා ආරක්ෂිත පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ. මෙලෙස අයඩින් පෙති බෙදාහැරීම හමුදාමය උණුසුම් තත්ත්වයක් පවතින අවස්ථාවලදී අනුගමනය කරනු ලබන සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් (standard procedure) බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු තහවුරු කළේය.

“ඔව්, අපි ජනතාවට අයඩින් පෙති බෙදාහරිමින් සිටිනවා. අපට තවදුරටත් ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාස කළ නොහැකියි; ඔහු දැවැන්ත ප්‍රහාරයකට දොරටු විවෘත කර තිබෙනවා,” යනුවෙන් අදාළ නිලධාරියා ප්‍රකාශ කළේය. න්‍යෂ්ටික අනතුරක් හෝ ප්‍රහාරයක් සිදුවුවහොත් විකිරණශීලී අයඩින් ශරීරයේ තයිරොයිඩ් ග්‍රන්ථියට අවශෝෂණය වීම වැළැක්වීම සඳහා මෙම අයඩින් පෙති ලබාදෙනු ලැබේ.

වාර්තාවලට අනුව, ඉරානයේ පිහිටි ‘පිකැක්ස් පර්වතය’ (Pikaks Mountain) න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු ආරක්ෂක අංශ සූදානමින් පසුවන අතර, හමුදාමය සූදානම ඉහළ මට්ටමකට නංවා ඇත. අල් ජසීරා (Al Jazeera) නාලිකාව වෙත අදහස් දක්වමින් ඉරාන දේශපාලන විශ්ලේෂකයෙකු කියා සිටියේ මෙම ප්‍රදේශය කෙරෙහි ඇමරිකාවේ දැඩි අවධානයක් යොමුව ඇති බවයි.

යුදමය උණුසුම අතිශය තීරණාත්මක මට්ටමකට ළඟා වී ඇති පසුබිමක, ඉරාන රජය විසින් සිය ඉහළම හමුදාමය හදිසි අනතුරු ඇඟවීමේ සංඥාව වන ‘Code 100’ (කේත 100) නිකුත් කර ඇති අතර, එයින් අදහස් වන්නේ එල්ල වන ඕනෑම ප්‍රහාරයකට වහාම ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හමුදාවන් සූදානම් කර ඇති බවයි.

එක්සත් ජනපදයේ ධවල මන්දිරයේදී ජනාධිපති ට්‍රම්ප් සිය ජාතික ආරක්ෂක මණ්ඩලය (National Security Council) සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඉරානයට එරෙහිව නැවත හමුදා මෙහෙයුම් ආරම්භ කරන්නේද නැද්ද යන්න පිළිබඳව එහිදී තීරණය කිරීමට නියමිතය. රහසිගත හමුදා මෙහෙයුම් (clandestine operations) සදහා වඩාත් සුදුසු දිනයක් ලෙස සැලකෙන නොවැම්බර් 09 වැනිදා අමාවක (new moon) දිනයක් වීම ද විශේෂත්වයකි.

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී (Oval Office) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, අදාළ හමුදාමය මැදිහත්වීම සම්බන්ධයෙන් සුදුසු වේලාවේදී තීරණයක් ගන්නා බවයි. ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් සම්පූර්ණයෙන්ම අක්‍රිය කරමින්, ඉදිරියට ඔවුන්ගෙන් කිසිදු තර්ජනයක් එල්ල නොවන තත්ත්වයකට පත්කිරීම ඇමරිකාවේ ස්ථිර අරමුණ බව ඔහු පැහැදිලි කළේය.

“හැකි නම් ඉරානයේ අනෙකුත් ප්‍රදේශ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට මම කැමති නැහැ. නමුත් මට එසේ කිරීමට සිදුවෙන්න පුළුවන්. ඒ තීරණය ඉදිරියේදී ඔබට දැනගැනීමට ලැබෙයි,” යනුවෙන් ට්‍රම්ප් අනතුරු ඇඟවීය. ඉරානයට එරෙහි මහා පරිමාණ මෙහෙයුමකට අවශ්‍ය පසුබිම සකස් වෙමින් පැවතුණද, ධවල මන්දිරයෙන් මෙතෙක් ඊට අදාළ නිල නියෝගය නිකුත් කර නොමැත.

මෙම උණුසුම් තත්ත්වය අතරතුර, ඉරාක අග්‍රාමාත්‍ය අලි ෆාලි අල්-සයිදි (Ali Faleh Al-Zaidi) ජනාධිපති ට්‍රම්ප් සමඟ පැවැති දුරකථන සංවාදයකදී අවධාරණය කළේ, අසල්වැසි රටවලට එරෙහි හමුදා මෙහෙයුම් සඳහා ඉරාක භූමිය භාවිත කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි. කලාපයේ සියලුම රටවල ස්වෛරීභාවයට ගරු කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related posts

ඩොලරයක් 375යි..

Shiran Viraj

ඉන්ධන නැතිවීමේ බරපතල අවදානමක්..- බලශක්ති ඇමති මාධ්‍ය අමතයි…

Shiran Viraj

GMOA රට පුරා වර්ජනයක් කැදවයි..

Shiran Viraj
Translate »