2026-11-11
mediahumanrights.lk
Local NewsNews

යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගී ප්‍රතිකාර ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නූතන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර සූත්‍ර වෙනුවට 2010 වසරේ පැරණි තාක්ෂණය මත පදනම් වූ ‘ලීනියර් ඇක්සලරේටර්’ (Linear Accelerator) යන්ත්‍ර මිලදී ගැනීමට සූදානම් වන බවට චෝදනා එල්ල වී ඇත. මෙම තීරණය හේතුවෙන් රජයේ භාණ්ඩාගාරයට ඩොලර් මිලියන ගණනක විශාල මූල්‍ය අලාභයක් සිදුවීමේ අවදානමක් පවතින බව පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සෞඛ්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමත් සංජීව මහතා විසින් මෙම අක්‍රමවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව වහාම විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් අදාළ පැමිණිල්ල යොමු කර ඇත. කාලෝචිත සහ ඵලදායී ප්‍රතිකාර ලබාගැනීමට අපේක්ෂා කරන පිළිකා රෝගීන්ගේ ජීවිත කෙරෙහි මෙයින් එල්ල වන බලපෑම සැලකිල්ලට ගෙන වගකිවයුත්තන් ඊට වගකිය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

2026/2027 වසර සඳහා වූ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණය ආධාර යෝජනාක්‍රමය යටතේ මහරගම අපේක්ෂා රෝහල සහ ගාල්ල කරාපිටිය ජාතික රෝහල සඳහා මෙම යන්ත්‍ර ලබාගැනීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වී සිටින සැපයුම්කරු විසින් නූතන තාක්ෂණික පහසුකම් නොසලකා හරිමින්, 2010 වසරේ පැරණි ආකෘතිවලට සමාන යන්ත්‍ර සපයා දීමට උත්සාහ කරන බවට දැඩි කංසාවක් මතුව තිබේ. අධික මුදලකට මෙලෙස යල්පැනගිය යන්ත්‍ර ලබාගැනීම මහජන මුදල් අවභාවිතයක් බව වෛද්‍ය සංජීව මහතා පෙන්වා දුන්නේය.

මෙම මිලදී ගැනීම් පිළිබඳව කාලයක සිට දැනුවත් කර තිබුණද, රෝහල්වල සේවය කරන ඇතැම් භෞතික විද්‍යාඥයන්ගේ (physicists) පෞද්ගලික හිතවතුන්ගේ බලපෑම මත මෙම යල්පැනගිය යන්ත්‍ර ලබාගැනීමට තල්ලුවක් ලැබෙන බවට පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ද කනස්සල්ල පළ කර ඇත. මෙම තත්ත්වය හමුවේ සමස්ත තේරීම් ක්‍රියාවලිය පිළිබඳවම දැඩි සැකයක් මතුව තිබේ.

තවද, අදාළ ප්‍රසම්පාදන සහ තාක්ෂණික ඇගයීම් කමිටුවල නිලධාරීන්, ටෙන්ඩරයට සම්බන්ධ වෛද්‍ය උපකරණ සමාගම විසින් සංවිධානය කරන ලද සුඛෝපභෝගී භෝජන සංග්‍රහ ඇතුළු ප්‍රචාරණ කටයුතුවලට මෑතකදී සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. එම නිසා අදාළ කමිටු සාමාජිකයන්, ශ්‍රී ලංකාවේ ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලීම් දැඩි වී තිබේ.

මෙම රෝහල් සඳහා අත්‍යවශ්‍ය ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය විවිධ නිලධාරීන්ගේ සහ ව්‍යාපාරික අවශ්‍යතාවලට පැටලෙමින් කාලයක සිට අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙමින් පවතින බවත්, අසරණ පිළිකා රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළන මෙම අර්බුදයට වහා විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ සෘජු අවධානය යොමු විය යුතු බවත් වෛද්‍ය සංජීව මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Related posts

ඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?

Shiran Viraj

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. 

Shiran Viraj

නිවාස දෙකකට ප්‍රහාරයක්… නිවෙස් හිමියා මිරිස්කුඩු ගැසූ පසු පැන දුවයි…

Shiran Viraj
Translate »