mediahumanrights.lk
Local NewsNews

ජනපතිගේ අත්සන ව්‍යාජව යෙදූ සැකකරුවෙකු අත්අඩංගුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන සහ ලිපි ශීර්ෂ ව්‍යාජව යොදාගනිමින් ලිපි සකස් කළ පුද්ගලයෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විමර්ශනය සිදු කෙරුණේ ලංකා බැංකු මූලස්ථානයේ ප‍්‍රධාන කළමනාකරු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි.

වැඩ තහනමකට ලක්ව ඇති ලංකා බැංකු සේවකයෙකු යළි සේවයේ පිහිටුවීම යන මාතෘකාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලිපි ශීර්ෂයක ජනාධිපතිවරයාගේ අත්සන යැයි විශ්වාස කළ හැකි ආකාරයට යොදන ලද ව්‍යාජ අත්සනක් සහිත ලිපියක් ඉකුත් මස 28 වන දා හෝ ඊට ආසන්න දිනකදී ලංකා බැංකුවේ සභාපතිවරයා වෙත ලැබී තිබුණා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ දිනයේදී සභාපතිවරයා හමුවීමට පැමිණෙන්නන්ගේ පොරොත්තු ලැයිස්තුවේ සිටි පුද්ගලයෙකු ලංකා බැංකු මූලස්ථානය වෙත කැඳවීමට කටයුතු කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

එම පුද්ගලයා විසින් ඉහත ආකාරයට ව්‍යාජව සකස් කරන ලද ලිපිය සභාපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ එහිදීයි. ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ලංකා බැංකුවේ නිලධාරීන් විසින් එම පුද්ගලයා එදිනම කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව කෙරුණු ප‍්‍රශ්න කිරීම් වලින් පසුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර එහිදී කෙරුණු ප‍්‍රශ්න කිරීම් වලින් හෙළිවී ඇත්තේ ඔහු සිය පුද්ගලික ලැප්ටොප් පරිගණකය භාවිත කර මෙම ව්‍යාජ ලිපි කවරය සකස් කර තිබෙන බවයි.

ඒ අනුව එම පුද්ගලයාගේ කුරුණෑගල පිහිටි නිවස පරික්ෂා කිරීමේදී ව්‍යාජ ලිපි සකස් කිරීම සදහා යොදා ගත් බව කියන ලැප්ටොප් පරිගණකය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු 37 වන වියේ පසු වන්නෙක් ඔහු අද පෙරවරුවේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ලබන 8 වනදා දක්වා එහි දී ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපතිවරණය පවත්වනවා.. මුදල් වෙන් කර අවසන්..- මැතිවරණ කොමිසම දන්වයි

Shiran Viraj

වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම අද විභාග වෙයි

Shiran Viraj

නැගෙනහිර බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්න අකිලගේ අවධානය

Shiran Viraj
Translate »