mediahumanrights.lk
NewsPolitical

රවී අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
තමා විසින් ගන්නා ලද තීරණය කිසි විටෙකත් කම්පා ගන්නා වී ගන්නා ලද තීරණයක් නොවන බවත් එය ඉතා ආඩම්බරයෙන් ගන්නා ලද තීරණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
තමා කිසි විටෙකත් දේශපාලනය තුළින් මුදල් හම්බ කළේ නැති බවත් තම ව්‍යාපාර සඳහා කිසිම අවස්ථාවක දේශපාලනය සම්බන්ධ නොවූ බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
තමා පැය 24 ක කාලය පුරා ජනතාවට සේවය කිරීමට අමාත්‍යධූරය පාවිච්චි කළ බව ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් තමාට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය හෝ යහපාලන ආණ්ඩුව විනාශ කිරීමට බලලෝබී ක්‍රමන්ත්‍රණකරුවන්ට ඉඩ නොදෙන බව ද ඔහු තරයේ කියා සිටියේය.
අර්ජුන් ඇලෝසියස් මහතා විසින් කොළඹ අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී පදනම මත ලබාගෙන ඒ වෙනුවෙන් මසකට ලක්ෂ 14ක පමණ මුදලක් ගෙවා ඇතත් එහි පදිංචිව සිට ඇත්තේ එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා බව  බැදුම්කර කොමිසම හමුවේ අනාවරණය වූයේ ඉකුත් ජූලි 24 වන දාය.
එයින් පසුව අගෝස්තු 02 වන දින කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ අදාළ නිවස මිලදී ගනු ලැබුවේ තම බිරිඳ හා දියණිය විසින් බවත්, එහි ගනුදෙනු සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.
කෙසේ වෙතත් දීර්ඝ ලෙස සිදුකරනු ලැබූ ප්‍රශ්න විමසීමේදී තම බිරිඳ හා දියණිය අධ්‍යක්ෂ ධූරය දරන GLOBAL LOGISTIC සමාගමේ සභාපති ධුරය දරණ ලක්ෂ්මි කාන්තන් නැමැත්තා නිවස මිලදී ගැනීම සඳහා මුදල් ලබාදී ඇති බවද කරුණානායක මහතා කොමිසමට ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් රටේ මුදල් අමාත්‍යවරයා ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ  ප්‍රධානියා විසින් මුදල් ගෙවන නිවසක පදිංචි වී සිටීම කිසිසේත්ම නුසුදුසු කරුණක් බවට තමන් පිළිගන්නේ දැයි කොමිසම අමාත්‍යවරයාගේ ප්‍රශ්න කරන ලද අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටි අතර තමන් දැන සිටියේ නම් එලෙස එහි පදිංචියට‍ නොයන බවයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම් අනාවරණය වීමෙන් පසුව රවී කරුණානායක අමාත්‍යවරයා හා අර්ජුන් අලෝසියස් අතර පැවති දිගු කාලීන මිත්‍රත්වය මෙන්ම ගනුදෙනු පිළිබඳ ආණ්ඩුවේද, විපක්ෂයේද මැති ඇමතිවරුන් විසින් දිගින් දිගටම ප්‍රශ්න කළ අතර ඔහුට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉකුත් අගෝස්තු 03 වන දින මන්ත්‍රීවරුන් 32 දෙනෙකු විසින් අත්සන් කොට විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලබාදීමට කටයුතු කරනු ලැබිණි.
ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදුකෙරෙන පරීක්ෂණවලට බාධවක් නොවනු පිණිස රවී කරුණානායක මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවටත්, එසේ නොවන්නේනම් සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් ප්‍රකාශ කෙරුණි.
ඒ අනුව ඊයේ දිනයේදී පැවති කැබිනට් රැස්වීමට අමාත්‍ය රවී කරුණානායක මහතා සහභාගි නොවූ අතර එසේ පැමිණියහොත් තමන් එයින් නැගිට යන බවට ශ්‍රීලනිප නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කල් තියා දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා රවී කරුණානායක යන මහත්වරුන් එක්ව පවත්නා තත්ත්වය පිළිබඳ දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත් බව දේශපාලන ආරංචි මාර්ග විසින් තහවුරු කර තිබිණි.
(under the courtesy of adaderana news web)

Related posts

රටටම නැති ඩීසල් කොළඹ විදුලියට මැවේ.. කොලඹට විදුලිය නොකපයි..

Shiran Viraj

ජනප‍්‍රිය පාසලක සෑම පන්තියකින්ම ලක්‍ෂ දෙකහමාර බැගින් එකතු කරයි…

Shiran Viraj

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Shiran Viraj
Translate »