mediahumanrights.lk
Local NewsNewsPolitical

විග්නේශ්වරන්, එක්සත් ජාතීන්ට දොස් කියයි

යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකා හමුදා ප්‍රහාරයට ගොදුරුවූ දෙමළ ජනතාවගේ ජීවිත බේරාගැනීමට ප්‍රමාණවත් ලෙස පියවර නොගත් බවට උතුරේ මහ ඇමැති වරයා එක්සත් ජාතීන්ට දොස් පවරා තිබේ.
මහ ඇමැති සී වී විග්නේස්වරන් මහතා එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් හමුවේ පවසා ඇත්තේ 2009 දී විනාශ වුනු ජීවිත ගලවා ගැනීමේ හැකියාවක් ජගත් සංවිධානයට තිබුනු බවයි.
“යුද්ධයේ අවසාන අදියරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඥානාන්විතව සහ වගකීමෙන් යුතුව කටයුතු කළේ නම්, දහස් ගණනක් ජීවිත බේරා ගන්නට තිබුනා,” යි මහ ඇමතිවරයා පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ අධ්‍යක්ෂිකා කන්නි විග්නරාජා සහ ශ්‍රී ලංකාවේ එජා නේවාසික නියෝජිත ඌනා මැකෝලේ යාපනයට පැමිණි අවස්ථාවේදීය.
උතුරේ ජනතාව දැනට මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ජගත් සංවිධානය සෘජුව ශ්‍රී ලංකාවේ රජය සමග පමණක් ගනුදෙනු කිරීමද මහ ඇමතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්වී තිබේ.
සාමාන්‍ය දෙමළ වැසියන් 70,000ක් මියගිහින් !
යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් විමසා තීරණ ගනු වෙනුවට මධ්‍යම රජයේ යෝජනා පමණක් සැලකිල්ලට ගැනීම සම්බන්ධයෙන් තම අතෘප්තිය පල කළ බවත් මහ ඇමැති විග්නේස්වරන් මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේය.
අනාගතයේදී එසේ නොවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයන් තමන්ට සහතික වූ බව පැවසූ මහ ඇමැති වරයා, උතුර සහ ජගත් සංවිධානය අතර සම්බන්ධය වඩාත් යහපත් අතට හැරෙනු ඇති බවට විශ්වාසය පල කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාව එල්ටීටීඊ පාලන ප්‍රදේශය නැවත අත්පත් කරගැනීම සඳහා දියත් කළ හමුදා ප්‍රහාරයේදී මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව අඩුම වශයෙන් හැත්තෑ දහසක් වෙතැයි ගණන් බලා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයට දිගටම යෝජනා කර තිබුනේ යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමේදී යුද පීඩිතයන් ගේ අදහස් සැලකිල්ලට ගැනීම අත්‍යාවශ්‍ය බවයි.

Related posts

දිමුත්, තිරිමාන්න සාර්ථක ආරම්භයක් දෙයි – එංගලන්තය හා ශ්‍රීලංකාව අතර පළමු පුහුණු තරඟය සජීවිව මෙතැනින් නරඹන්න

Shiran Viraj

රන්ජන් අද අධිකරණය හමුවට

Shiran Viraj

අධිකරණ තලතාට – බුද්ධශාසන ජයවික්‍රම පෙරේරාට

Shiran Viraj
Translate »