mediahumanrights.lk
Entertainment Entertainment News News

මම ජීවිතයේ හොඳම තීරණය ගත්තා

කොහොමද රනිල්?
හොඳින්, සතුටින් වැඩ කරගෙන ඉන්නවා. මම සම්බන්ධ වෙන සල්සපුනා ටෙලි නාට්‍යයේ සුරේන්ගේ චරිතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතනවා මම ඒ චරිතයට සාධාරණයක් කළ නිසා මේ ප්‍රතිඵලය ලැබෙනවා ඇති කියලා.
දැන් රනිල්ට ආරාධනා ගලාගෙන එනවලු නේද?
අවස්ථා නම් ලැබෙනවා. මගේ අරමුණ අධ්‍යක්ෂවරයෙක් වීම නිසා මම මගේ ප්‍රතිරූපයත් මේන්ටේන් කරනවා. ඉතිං මේ වෙද්දී මම තවත් ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම්වලටත් සම්බන්ධ වෙනවා.
‘සල් සපුනා’හි සුරේන් නිසාද වැඩිපුර අවස්ථා ලැබෙන්නේ?
මම මුලින්ම කළේ දූවිලි මල් ටෙලි නාට්‍යයේ භානුගේ චරිතය. ඉතිං ඒ චරිතය ලොකු පරාසයක විහිදෙන චරිතයක්. නමුත් මාව ජනප්‍රිය වුණේ සල් සපුනා නාට්‍යයේ සුරේන් විදියට. ඉතිං ඒ චරිත දෙක නිසාම මට අවස්ථා ලැබෙනවා ඇති. නමුත් මම කැමතියි සුරේන්ගේ චරිතයෙන් ගැලවිලා ඊට වෙනස් වුණු චරිත කරන්න. මම හොඳ අවස්ථා ලැබෙනකල් බලාගෙන ඉන්නවා. මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා දැනෙනවා.
පුංචි තිරයෙදි අමායයි, රනිලුයි ගැළපුණා. ආයෙත් අමායයි රනිලුයි ගළපන්න අධ්‍යක්ෂවරු උත්සාහ කරනවා නේද?
අලුතින් කරන නාට්‍යයටත් අපි දෙන්නාවම සම්බන්ධ කරගත්තා. සමහර විට සල්සපුනා ටෙලි නාට්‍යයෙන් අපි දෙන්නව දැක්ක නිසා අධ්‍යක්ෂවරයාටත්, නිෂ්පාදකවරයාටත් අපි දෙන්නවම ගන්න ඕන වෙන්න ඇති.
තිරයේදී සුරේන්ට වඩාත් ගැළපෙන්නේ අමායා කියලා හිතනවාද?
එහෙම විශේෂයක් නැහැ. අමායා කියන්නෙත් දක්ෂ රංගන ශිල්පිනියක්. අපි දෙන්නම රංගනයට අලුත්. මම එහෙම රංගන ශිල්පිනියන් විශේෂ කරගෙන නැහැ. මට මොන රංගන ශිල්පිනිය දුන්නත් මම චරිතයට සාධාරණයක් කරනවා.
රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ?
ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝරා ගත්තේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි දෙන්නා හඳුනා ගන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ වෙලා කාලයත් එක්ක ඒක ආදරයක් බවට පෙරළුණා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා.
මේ, ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද?
ඔව්. මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික ජීවිතේ තීරණ ගනිද්දී පවුලේ අයත් එකතු කරගන්නවා. මගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් මගේ මවුපියන්ට විතරයි. ඉතිං මම ගත්ත තීරණයට එයාලත් කැමති වුණා.
රනිල්ගේ හිත මේනකා ළඟම නතර වෙන්න විශේෂ කාරණයකුත් තියෙන්න ඇතිනේ?
එක එක කෙනාගේ හිතේ තමන් කැමති කෙනෙක්ගේ රූපයක්, විදිහක් ඇඳිලා තියෙනවානේ. මේනකාව දැක්ක ගමන් මට වෙනසක් දැනුණා. කතා කරන විදිහ, හැසිරෙන විදිහේ වෙනසක් තිබුණා. ඒ වගේම එයා යමක් කළොත් හරිම නීට්. ජීවිතයේදී හරිම සැලසුම් සහගතයි. ඉතිං ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් ඒක පහසුයි. ඒ වගේම එයා මගේ අම්මටත්, එයාගේ අම්මට වගේම ආදරෙයි. මේ හැමදේම ගොඩක් වටිනවා.
මේනකා හොඳ පෙම්වතියක් වුණා වගේම හොඳ බිරියක් වෙයි කියලා හිතනවද?
අනිවාර්යයෙන්ම. මේනකා හොඳ බිරියක් වෙයි. ඒකේ කතා දෙකක් නෑ.
රංගනයේදී මේනකා රනිල්ට වඩා ප්‍රවීණයි. කොහොමද ඇගෙන් රනිල්ට ලැබෙන සහයෝගය?
අපි අපේ ජීවිතේ හැම දෙයක්ම කතාබහ කරනවා. මම එයාට එයාගේ කලා කටයුතුවලට නිදහස දීලා තියෙනවා. එයා මට කලා කටයුතුවලට නිදහස දීලා තියෙනවා. කලාවේදී එයාට මට වඩා අත්දැකීම් තියෙනවා. ඉතිං කලාවේදී යම් යම් දේ ගැන එයාගේ අත්දැකීම් මට දෙනවා. කලාවේදී රනිල් කියන නළුවා මේනකා කියන නිළියට ගොඩක් ගරු කරනවා.
දෙන්නා නිර්මාණයකට පෑහුණොත් නරකද?
මේ වෙනකල් අපි දෙන්නා එකට රඟපාලා නැහැ. අපිට ආරාධනාවක් නම් ලැබුණා. නමුත් ඒ වැඩේ කල් ගියා. කොහොම වුණත් හොඳ පිටපතකට හොඳ වැඩක් ලැබුණොත් අපි දෙන්නම ඒකට සම්බන්ධ වෙනවා.
රනිල්ට අධ්‍යක්ෂණ හීනයකුත් තියෙන නිසා මේනකාවත් එකතු කරගෙන නිර්මාණයක් කළොත් නරකද?
මගේ අරමුණ අධ්‍යක්ෂවරයෙක් වෙන එක. ඒකට මේනකාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මම තව කාලයකින් කරන්න හිටපු අධ්‍යක්ෂණ කටයුත්ත මේනකාගේ හමුවීම නිසා කරන්න ඉක්මන් වෙයි. මම නිර්මාණයක් අධ්‍යක්ෂණය කළොත් මම රඟපාන එකක් නැහැ. සමහර විට මේනකා ඒ නිර්මාණයේ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. කොහොම වුණත් අපි දෙන්නා කලාවට දෙන්න පුළුවන් හොඳ ප්‍රඩක්ෂන් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා.
හිත ගියපු කෙනා සහකාරිය කරගන්නේ කවද්ද?
තාම ඒකට දිනයක් යොදාගෙන නැහැ. අපිට ලැබෙන මුල්ම අවස්ථාවේ දිනය විවාහයට ලෑස්ති කරගන්නවා. බොහෝ විට ඒ දවස ලබන අවුරුද්දේ උදාවෙන්න පුළුවන්.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

ඔළුව උදුම්ම ගත්තා නම් මට සම්මාන ලැබෙන්නේ නැහැ

Shiran Viraj

අගමැති වියට්නාම නිල සංචාරය අරඹයි

Shiran Viraj

මැතිවරණ පනත් සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම්

Shiran Viraj