mediahumanrights.lk
Local News News

රජයේ මුදලින් හෙලිකොප්ටර පැදලා යයි චම්පිකට චෝදනා…

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි.

හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පැවසූ බවට වන ප්‍රවෘත්තියක් ඇතැම් මාධ්‍ය මගින් පල කර තිබේ.

හිටපු අමාත්‍යවරුන් වෙනුවෙන් වෙන් කර තිබෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව හැට හයක් වන බවත්, ඉන් ගුවන් ගමන් වාර තුනක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් වෙන් කර ඇති බවත් වාර්තා කර තිබිණ.

මෙම ඇමතිවරුන් සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙලෙස ගුවන් හමුදාවේ ගුවන් යානා යොදා ගෙන තිබුණේ 2019 වසරේ සිට 2020 වසර දක්වා වූ කාලය තුළ දී බවත් මෙම ගුවන් ගමන් බොහොමයකට මුදල් වැය කර ඇතැයි පැවසෙන්නේ රජයෙන් බවත් එම පුවතින් වාර්තා කර තිබේ මෙම තොරතුරු සඳහන් වන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ සිදු කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් ලබාගත් තොරතුරු වාර්තාවක බව එම පුවතේ සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරන්නේ තමන් විසින් අමාත්‍ය ධුර දරන ලද කිසිදු අවස්ථාවක තමන්ගේ පෞද්ගලික හෝ රාජකාරී අවශ්‍යතා සඳහා ගුවන් හමුදාවේ ගුවන් යානා පෞද්ගලිකව ලබා ගෙන නොමැති බව ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් සහභාගී වූ ඇතැම් රාජ්‍ය කටයුතු සඳහා තමන් ද සහභාගී කර ගත් අවස්ථා තුනක දී පමණක් ඔවුන් සමග තමන් එම අවස්ථා සඳහා සහභාගී වීමට ගුවන් යානාවලින් ගමන් ගෙන ඇති බව ද පෙන්වා දෙයි.

ඒ සඳහා රාජ්‍ය මුදල් වැය කිරීම, හිටපු අමාත්‍යවරුන් තමන්ගේ අවශ්‍යතා සඳහා ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිත කිරීම යන කරුණු සමස්තයක් ලෙස සඳහන් කිරීම කරුණු විකෘති කොට අවලාද ස්වරූපයෙන් වාර්තා කිරීමක් බව ද, පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවක් සිදු ව ඇත්නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම රජය සතු වගකීමකි. එමෙන්ම තමන් අමාත්‍ය ධුර දරන සමයේ අමාත්‍යාංශ සහ ඊට අනුබද්ධ ආයතන කාර්යක්ෂම සහ ඵලදායී අයුරින් පරිපාලනය කළ අයුරු සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීම සඳහා එම ආයතනවල අදාළ කාල සීමාවේ කාර්ය සාධනය පිළිබඳ තොරතුරු ද, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගෙන ප්‍රකාශයට පත් කරන ලෙස ද, පාඨලී චම්පික රණවක මහතා ඉල්ලා සිටියි.

Related posts

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස වැටක්

Shiran Viraj

මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Shiran Viraj

අංගොඩ ලොක්කා හඳුනා ගන්න ළඟම ඥාතියාගෙන් DNA සාම්පල්

Shiran Viraj