25.6 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

කොළඹ හමීඩ් අල් හුසේනි විද්‍යාලයට නව මහල් නවයක ගොඩනැගිලි සංකීර්ණයක්

කොළඹ හමීඩ් අල් හුසේනි විද්‍යාලයේ 141 වසරක සාභිමානවත් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, විද්‍යාලයීය පරිශ්‍රයට යාබදව අලුතින් මිලදී ගන්නා ලද පර්චස් 102ක භූමි භාගයක ඉදිවන නව මහල් නවයකින් යුත් අධ්‍යාපන, ක්‍රීඩා සහ නවෝත්පාදන සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය පසුගිය ජූනි 28 වන ඉරිදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම උත්සවය ප්‍රමුඛ පෙළේ පරිත්‍යාගශීලියෙකු වන අල් හාජ් ඉල්යාස් අබ්දුල් කරීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ‘ලයිට් ෆෝ ලයිෆ්’ (Light for Life) සංවිධානයේ අධ්‍යක්ෂ මෙන්ම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය කේ.ආර්. අක්‍රම් මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලදී.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලිහ් මහතා සිය දේශනය පවත්වමින් කියා සිටියේ, වගකිවයුතු පුරවැසියන් බිහිකිරීමට සහ ජාතික සංවර්ධනය ශක්තිමත් කිරීමට ගුණාත්මක අධ්‍යාපනය මෙන්ම නවීන අධ්‍යාපන යටිතල පහසුකම් අත්‍යවශ්‍ය වන බවයි. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය දියත් කිරීම වෙනුවෙන් ලයිට් ෆෝ ලයිෆ් සංවිධානය සහ හමීඩ් අල් හුසේනි විද්‍යාලයීය ප්‍රජාව එක්ව ගෙන ඇති සාමූහික උත්සාහය ද ඔහු අගය කළේය.

මෙම නව ගොඩනැගිලි සංකීර්ණයට විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහ පරිපාලන කාර්ය මණ්ඩලය සඳහා වන නවීන පරිපාලන අංශයක් ඇතුළත් වේ. මීට අමතරව, සිසුන්ගේ අධ්‍යාපන ප්‍රගතිය, මානසික සුවතාව සහ දෙමාපියන් දැනුවත් කිරීම වෙනුවෙන් වෙන්වූ විශේෂ ශිෂ්‍ය හා දෙමාපිය උපදෙස් දීමේ මධ්‍යස්ථාන ද (Counseling Centres) මෙහි ස්ථාපිත කිරීමට නියමිතය.

අල් හාජ් ඉල්යාස් අබ්දුල් කරීම්, විද්‍යාලයේ විදුහල්පතිනී එන්. ෂානියා ඩේන්, නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලිහ් යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ පරිත්‍යාගශීලීන්ගේ ප්‍රධානත්වයෙන් මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කෙරුණු අතර, ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් ඉම්තියාස් ඉල්යාස් මහතා විසින් ස්තූති කතාව සිදු කරන ලදී. මෙහිදී සංවිධායක මණ්ඩලය විසින් ප්‍රධාන ආරාධිතයා වූ නියෝජ්‍ය කථානායකවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන්, හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ලයිට් ෆෝ ලයිෆ් සංවිධානයේ අධ්‍යක්ෂවරුන්, හමීඩ් අල් හුසේනි විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්, මරදාන සහිරා විද්‍යාලයේ විදුහල්පති ත්‍රිස්වී මරික්කාර්, පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයන්, සහිරා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සාමාජිකයන්, දෙමාපියන්, ගුරුවරුන් සහ සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Related posts

ආහාර උද්මනය නගී..

Shiran Viraj

ඩොලර් නෑ.. චීනය-ඉන්දියාව-ඔස්ට්‍රේලියාව ආදී රටවල් ලංකාවට ආහාර සැපයීම සීමා කරයි.. ආහාර හිගයක් අතේ දුරින්..

Shiran Viraj

ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි..- සිපෙට්කෝ දැනුම් දේ…

Shiran Viraj
Translate »