mediahumanrights.lk
Local NewsNews

ඇලෝසියස්ගේ මෙන්ඩිස්ට බදු සහනයක්…

බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටවූ මෙන්ඩිස් සමාගමේ හිඟ බදු අය කරගැනීමටත් නැවත බලපත්‍රය එම සමාගමට නැවත දීමටත් සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා විසින් එම සමාගමට යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත.

මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළව සියයට 3 ක මාසිකව ගෙවිය යුතු අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැරහැරීම හේතුවෙන් ඉකුත් 5 වැනිදා සිට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අත්හිටවනු ලැබීය.

සති තුනකට ආසන්න කාලයක් එම සමාගමේ නිෂ්පාදන කටයුතු නවතා දමා තිබිණි. එම සමාගමේ සේවකයන් හයසීයක් පමණ පිරිසක් සේවය කර තිබූ අතර යැපෙන්නන් එක්දහස් පන්සීයක් පමණ සිට ඇත. මෙම සමාගම නැවත ආරම්භ කිරීමට කටයුතු කරන්නැයි සේවකයන් ඉල්ලීම් කළ බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා පැවැසීය.

හිඟ බඳු අය කරගැනීමත් සේවකයන් පත්ව සිටින අසීරුතාව සලකා බලා මෙන්ඩිස් සමාගමට නැවත බලපත්‍ර ලබා දීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ බවද හෙතෙම කීය.

ඒ අනුව, දැනට ගෙවීමට ඇති රුපියල් බිලියන 5.7ක මුදලෙන් සියයට පනහක් වන බිලියන තුනක් ගෙවුවහොත් බලපත්‍රය ලබා දීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා යෝජනා කර ඇත.

මෙන්ඩිස් සමාගමට අයත් මොරගොල්ල හා වැලිසර පිහිටි නිෂ්පාදන ආයතන පවත්වාගෙන යාමට එහිදී අවසර හිමිවෙන අතර සමාගම පවත්වාගෙන යාමේදී සාමාන්‍ය පරිදි බදු මුදල් ගෙවීය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කර ඇත. හිඟ බදු මුදල් ගෙවීම සඳහා සමාගම විසින් මාස්පතා ගෙවීම් කරන පරිදි ගෙවීම් සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවට දන්වා ඇත.

එම කොන්දේසිවලට සමාගම කැමැති නම් මාසයක කාලයක් සඳහා බලපත්‍රය ලබා දීමටත් ඉන් අනතුරුව මාස් පතා බලපත්‍රය අලුත් කිරීමටත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා යෝජනා ඉදිරිපත් කර ඇත. කෙසේවුවද මෙන්ඩිස් සමාගම මෙතෙක් මෙම යෝජනාවලට එකඟත්වය ප්‍රකාශ කර නැත.

මෙන්ඩිස් සමාගමට නැවත බලපත්‍ර ලබාදීමට කළ යෝජනා සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසූයේ යම් සමාගමක් සුරාබදු ගෙවන්නේ නම් බලපත්‍ර අලුත් කිරීමට තමා බැඳී සිටින බවයි.

Related posts

" ඉන්දියාව පරද්දලා මේ ලබපු ජයග්‍රහනය අපිට ගොඩක් වටිනවා " සියලූම දෙනා මවිත කරමින් කලාපයේ ක්‍රිකට් ලොක්කා ඉන්දියාව , නේපාලය හමුවේ පරදියි .!

Shiran Viraj

ශශිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

Shiran Viraj

ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…

Shiran Viraj
Translate »