mediahumanrights.lk
News Political

පාර්ලිමේන්තු මැතිවරණය ද? ජනාධිපතිවරණය ද?

”පාර්ලිමේන්තු මැතිවරණය කලින් තියලා අස්ථාවර පාර්ලිමේන්තුවක් හැදුනත් ඊට පස්සේ පත්වන ජනාධිපතිට වසර දෙකහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්නත් බෑ” බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් මෙසේ අදහදස් දැක්වීය.

මුලින්ම පවත්වන්නේ ජනාධිපතිවරණය ද පාර්ලිමේන්තු මැතිවරණය ද කියන මාතෘකාව පිළිබඳ අවස්ථා ගණනාවක දී අපි අදහස් දක්වා තිබුණත් නැවතත් ඒක පුවත් මවන උණුසුම් කාරණයක් වෙලා. පාර්ලිමේන්තු මැතිවරණය කලින් පැවැත්වීම ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ට වාසියි. ඇයි? ඔවුන්ගේ ඇත්ත ශක්තිය තවමත් නොදන්නා පාක්ෂිකයින් පිරිසක් ඔවුන්ට සහය දෙන නිසා සවිමත් මැතිවරණ ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණය තමන්ගේ අණසක යටතේ තිබෙන නිසා ඒකෙ වාසිය ගන්න පුළුවන්. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ ජනපතිවරණ පරාජයෙන් පසු නම් මේ වාසි දෙකම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට නැති වෙනවා. ඒ නිසා තමයි ඒ අය ජනපතිවරනයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය තියන්න කියලා ජනපතිවරයාට බල කරන්නේ.

මන්ත්‍රිවරුන්ට වාසි පාර්ලිමේන්තු මැතිවරණය වුණත් ජනාධිපතිට වාසි ජනාධිපතිවරණය තෙක් කිසිම මැතිවරණයක් නොපවත්වා සිටීමයි. වසර 40ක් සිහින මවලා සිහින බොඳ වෙලා තිබිය දී හදිසියේම ජනපති ධූරය තමන්ගේ ඔඩොක්කුවට වැටුණු නිසා තමන්ට ජනපති ධූරය විඳින්න ලැබුණු මාස 26න් එක මාසයක්වත් අඩු කර ගන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා කැමැති වෙන්නේ නෑ. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා කියන්නේ එදා සිට රට පාලනය කරන්නේ අළුත් අගමැති මිස ජනාධිපති නොවේ. 1994 දී විජේතුංග ජනාධිපතිතුමාට 2001 දී චන්ද්‍රිකා ජනාධිපතිතුමියට 2015 දී සිරිසේන ජනාධිපතිතුමාට අත් වුණු ඉරණම තමන්ටත් අත් වෙනවා කියන එක එතුමා හොඳින්ම දන්නවා.

ජනාධිපතිට විතරක් නොවේ රටට වාසිත් ජනපතිවරණය කලින් පැවැත්වීමයි. පාර්ලිමේන්තු මැතිවරණය කලින් පැවැත්තුවොත් කිසිම පක්ෂයකට 40% ඉක්මවා ඡන්ද ගන්න බැරි නිසා බිහි වෙන්නේ අස්ථාවර පාර්ලිමේන්තුවක්. නමුත් ජනාධිපතිවරණයේ දී ඡන්ද බහුතරයක් ගන්න අවශ්‍ය නෑ. ඡන්ද ප්‍රතිශතය මොකක් වුණත් වැඩිම ඡන්ද ගන්න කෙනා ජනාධිපති වෙනවා. ජනපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුවොත් ජනපතිවරණය ජයග්‍රහණය කරන කෙනා පාර්ලිමේන්තු බහුතරය හදා ගන්නවා. ඉතිහාසය පුරාවට ජනපතිවරණය දිනපු පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණය දිනලා තියෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණය කලින් තියලා අස්ථාවර පාර්ලිමේන්තුවක් හැදුනත් ඊට පස්සේ පත්වන ජනාධිපතිට වසර දෙකහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්නත් බෑ. එවිට කිසිම පනතක් සම්මත නොවන අයවැය සම්මත නොවන පාර්ලිමේන්තුවක් එක්ක වසර දෙකහාමාරක් යන්න ජනපතිට සිදු වෙනවා. ආර්ථික අර්බූදයක කර වටට ගිලී තිබිය දී ආණ්ඩුව අකර්මන්‍ය කරන පාර්ලිමේන්තුවක් බිහි වුණොත් රටට වෙන්න පුළුවන් ලොකුම විනාශයත් ඒකයි. ඒ නිසා ජනපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බොත් රනිල් මහත්තයාට විශ්‍රාම අරගෙන වසර දෙකහමාරක් යන තුරුත් ජනතාවගේ ශාපයට ලක් වීම මොන ජගතාටවත් නතර කරන්න බෑ. ඒ නිසා ජනාධිපති තාර්කිකව හිතුවොත් මුලින් පවත්වන්නේ තමන්ටත් වාසි රටටත් වාසි ජනාධිපතිවරණය මිස මන්ත්‍රිවරුන්ට වාසි පාර්ලිමේන්තු මැතිවරණය නොවේ.

– Media unit

Related posts

සිපෙට්කෝ තෙල් මිල ඉහලට..?

Shiran Viraj

ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කී‍්‍රඩකයෝ වැලිකතර හොල්ලයි

Shiran Viraj

ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජයි…- කොටුවේ පොඩි හාමුදුරුවෝ

Shiran Viraj