24.9 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

කොළඹ මුස්ලිම් පාසල්වලට ජනපතිගෙන් සහනයක්..

කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන ගැටළු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී (02) පැවැති සාකච්ඡාවට එක් වෙමිනි.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ඇතුළු පාසල් විදුහල්පතිවරුන් සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සංවිධාන කිහිපයක නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව එහිදී ඔවුන් ජනාධිපතිවරයාව දැනුවත් කළහ.

ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටළු පිළිබඳ ‍මෙහිදී අවධානය යොමු කෙරිණි.

ආසන්න වශයෙන් මුස්ලිම් සිසුන් 40,000 ක් පමණ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන අතර සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහම ඉගැන්වීමේ නිපුණතාවක් සහිත ගුරුවරුන්ගේ හිඟය පියවීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. තවද, කොළඹ මුස්ලිම් පාසල් 19ක ආසන්න වශයෙන් ගුරුවරුන් 200 ක පමණ හිඟයක් පවතින බව විදුහල්පතිවරුන් සහ සංවිධාන නියෝජිතයෝ පෙන්වා දුන් අතර, එහිදී ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ අදාළ ගුරු පුරුප්පාඩු සපුරාලීම සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන් හඳුනාගෙන අවශ්‍ය පත්වීම් සිදු කරන ‍ලෙසයි.

මීට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම හේතුවෙන් මුස්ලිම් ජාතික සිසුන්ට අධ්‍යාපන කටයුතුවල නිරත වීමට නොහැකි වීම කෙරෙහිද අවධානය යොමු විය. ඉඩකඩ ප්‍රමාණවත් නොමැති පාසල් සුදුසු ස්ථාන වෙත ගොනයාම සඳහා විකල්ප සොයා බලන ලෙස මෙහි දී ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගොඩනැගිලි හිඟයට පිළියම් යෙදීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත නව පාසල් ගොඩනැගිලි ඉදිකිරීමට ඇති බාධා මඟහරවා ගැනීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.

සාකච්ඡාවේ දී මතු වූ කරුණු පිළිබඳ වැඩිදුරටත් සොයා බලා වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් ජනාධිපතිවරයා මුස්ලිම් පාසල් මුහුණ දෙන අභියෝග පිළිබඳ තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා මෙම මස අවසානයේදී යළි සාකච්ඡාවක් කැඳවන බව ද සඳහන් කළේය.

උසස් පෙළ සමත් සිසුන් සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

– Media unit

Related posts

අංශ කිහිපයක් අද උදේ සිට වැඩ වර්ජනයේ – සෞඛ්‍ය සහ දුම්රියත් ඒ අතර

Shiran Viraj

අපේක්ෂා රෝහල් කාර්යය මණ්ඩලයේ 14ක් නිරෝධායනයට

Shiran Viraj

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කරයි

Shiran Viraj
Translate »