mediahumanrights.lk
Local News News

ජනපති මානව හිමිකම් කඩකල බවට පැමිණිලි කෙරේ….

ඓතිහාසිත කුරුන්දි බෞද්ධ පුදබිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන ඇතැම් ප්‍රකාශ මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ බෞද්ධයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතියි පිවිතුරු හෙළ උරුමය පවසයි.

පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් අංජන උදාර මහතා විසින් මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අද දින (06) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලදී.

එකී පැමිනිල්ලෙන් පහත කරුණු අවධාරණය කර ඇත.

2023.09.05

සභාපති
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
ප්‍රධාන කාර්යාලය
අංක 14
ආර්. ඒ. ද මෙල් මාවත
කොළඹ 04

සභාපතිතුමනි

ජනධිපතිවරයා විසින් මානව හිමිකම් කඩකිරීම

2023.8.30 වන දින ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් බැහැදුටු අවස්ථාවේ දී කුරුන්දි විහාරය පවතින ප්‍රදේශයට පිටස්තර කිසිවෙකුට යාමට අවස්ථාවක් නොදෙන බවට ප්‍රකාශකල බව මෙරට මාධ්‍ය සිය ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ සඳහන් කරන ලදී. එහි වීඩියෝ පිටපතක් ඇමුණුම් අංක 1 ලෙස ද යතුරු ලියනය කරන ලද පිටපතක් ඇමුණුම් අංක 2 ලෙස ද මේ පැමිණිල්ල සමග ඔබතුමාට ඉදිරිපත් කර ඇත.

ලංකාවේ එකම පද්මාකාර ස්ථූපය පවතින, කුරුන්දි අට්ඨ කතා ලියූ ස්ථානය වන, මහාවංශයට අනුව ක්‍රි.පූ. 2 වැනි සියවසේ දී ඛල්ලාඨනාග රජු විසින් ගොඩනැංවූ කුරුන්දි විහාරය බෞද්ධ සිද්ධස්ථානයකි. ඒ බව ශිලා ලේඛන, පුරාවස්තු සහ ඓතිහාසික මූලාශ්‍ර වලින් තහවුරු වී ඇත. බෞද්ධ බැතිමතුන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිට මෙම කුරුන්දි විහාරය වන්දනා කිරීම සදහා පැමිනෙති.

එවන් තත්වයක් හමුවේ ජනාධිපතිවරයා විසින් කුරුන්දි විහාරය පිහිටි ප්‍රදේශයට පිටස්තර පුද්ගලයන්ට ඇතුල්වීම තහනම් කරන බවට ප්‍රකාශ කිරීම අතිශයින්ම බරපතල තත්වයකි.

මෙම ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝණය වී ඇති අතර මතු දැක්වෙන අයුරින් බෞද්ධ’ අපගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇත.

ඒ අනුව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ

9 වන වගන්තියේ සදහන් ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම ද

14 (1) (ආ) වගන්තියේ සදහන් සාමකාමීව රැස්වීමේ නිදහස ද

14 (1) (ඉ) වගන්තියේ සදහන් එකලාව හෝ අන් අය සමග, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණකිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහස ද

14 (1) (ඌ) වගන්තියේ සදහන් ශ්‍රී ලංකාව තුල යාම් ඊම් නිදහස ද

බරපතල ලෙස උල්ලංඝණය කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇති බව ඉහත ප්‍රවෘත්තියට අනුව පැහැදිලි වේ.

එම නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර

1) ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික මානව හිමිකම් උල්ලංඝණයක් සිදුව ඇති බවට ප්‍රකාශයට පත් කරන මෙන් ද

2) එකී ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ක්‍රියාත්මක නොකිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කරන මෙන් ද

මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙයට

දේශප්‍රේමීත්වයෙන්
පිවිතුරු හෙළ උරුමය

අංජන උදාර
ප්‍රචාරක ලේකම්

Related posts

ජනපති මෛත්‍රීපාලට විරුද්ධ නෑ – ආණ්ඩුවේ වැඩවලටයි විරුද්ධ – බැසිල් කියයි

Shiran Viraj

‘ෆොනී’ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වෙයි..අනතුරු ඇගවීම් නිකුත් කෙරේ

Shiran Viraj

චමුදිතගේ නිවසට ප‍්‍රහාරය… ජනපති කෙවිට අතට ගත්තාදැයි සැකයි….- චම්පික

Shiran Viraj