2026-07-08
mediahumanrights.lk
Local NewsNews

කබ්රාල් පොහොට්ටු සභාපති වගේ.. ජනාධිපතිත් අන්දලා..

රටක මහ බැංකුවක් ස්වාධීන විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ ඩොලර් ප්‍රශ්නයක් නැතැයි කියමින් දේශපාලකයෙකු මෙන් හැසිරෙමින් ජනතාව ඇන්දවීමට ගන්නා පහත් උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අපිට ඩොලර් ප්‍රශ්නයක් නැතැයි මහ බැංකු අධිපතිවරයා කර තිබෙන ප්‍රකාශය වාර්තා කර තිබෙන පුවත්පත් වලම ඔහුට උපහාසයට මෙන් “වරායේ හිරවූ කන්ටේනර් මුදාගන්න ඩොලර් නෑ“, “ඩොලර් නැති නිසා සමහර බෙහෙත් ගේන්න විදිහක් නෑ“, “එදාවේල පිරිමහගන්න මහ බැංකුව රන් සංචිත විකුණයි“, වැනි ප්‍රවෘත්තිද වාර්තා කර තිබෙන බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා දේශපාලනය නොකර රට මුහුණ දෙමින් තිබෙන සැබෑ විදේශ විනිමය අර්බුදය පිළිබඳව රටට හෙළිකළ යුතු බවත් නොමැති නම් ශ්‍රී ලංකා මහ බැංකුවට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම පවා හෑල්ලුවට ලක්වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

“නිවාඩ් කබ්රාල් අධිපතිවරයාගෙන් අපි අහනවා, මොනවද මේ කතා කරන්නේ? මේ පත්තරේ එක තැනක තියනවා අපිට ඩොලර් හිඟයක් නෑ කියල. අනිත් තැන තියනවා, බෙහෙත් ගේන්න ඩොලර් නෑ කියල. කාවද මේ අන්දන්න හදන්නේ? මේ ඇන්දිල්ලේ සීමාවක් තියනවා. තමන්ගේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය අන්දල, ප්‍රධාන විධායක නිළධාරියා විදිහට ඒ ආයතනය බංකොලොත් කරාට අපිට ප්‍රශ්නයක් නෑ. නමුත්, මේ අන්දන්න හදන්නේ මහජනතාව. මහජනතාව අන්දල බංකොලොත් කරන්න යන්නේ මේ රට. ඒකට ඉඩ දෙන්න බෑ.“

“අපි නැවතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කියනවා, මේ එක එක වන්දි භට්ටයෝ කියන ඒවා අහන්න එපා, ස්වාධීන ආර්ථික විශේෂඥයින්ගෙන් අහලා මේ ප්‍රශ්න විසඳන්න කියලා.“

පෙබරවාරි 09 වනදාට සහ පෙබරවාරි 17 වනදාට ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් මිලියන 250 ක පමණ ණය ගෙවීමට තිබෙන බවත් 2022 ජනවාරි මාසය අවසන් වනවිට මහ බැංකුව සතුව සැබෑ ලෙස තිබෙන්නේ ඩොලර් මිලියන 700 ක පමණ විදේශ සංචිතයක් පමණක් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය.

– media unit

Related posts

ගරු නායකතුමනි ඔබගේ සේවය ගෞරවනීයයි – සජිත් අගමැති කර පක්ෂයත් රටත් බේරාගන්නට නව ගමනකට සැරසෙමු..

Shiran Viraj

හමුදාවේ ලොක්කන් 10කට උසස්වීම්

Shiran Viraj

මැතිවරණයේ පසු විපරම

Shiran Viraj
Translate »