28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

සැමියාගේ පදවලට උරේෂා ගැයූ අලුත්ම ගීය

ඔබේ අලුත්ම ගීතයක් පසුගිය දවසක එළි දැක්වූවා නේද?

ඔව්. මගේ අලුත්ම ගීතය පාට තියලා. ඒ ගීතය මීට සති දෙකකට පමණ ඉහතදී රිලිස් කළා. සුරේෂ් මාලියද්ද තමයි ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. මගේ සැමියා රුචිර නදීර තමයි ගීතය රචනා කළේ.

ගීතය නිර්මාණය කරන්න පසුබිම නිර්මාණය වුණේ කොහොමද?

සුරේෂ් අයියා මට කතා කරලා කිව්වා ඔයා වෙනුවෙන්ම නිර්මාණය වුණු තනුවක් තියෙනවා මට අහලා බලන්න කියලා. ඒක අහලා බැලුවම මට ඒකට පුදුමාකාර ආකර්ෂණයක් ඇති වුණා. මම ඒ වෙලාවේ සුරේෂ් අයියට කිව්වා අපි මේ ගීතය කරමු කියලා.

ඒකට මෙලඩි එක තමයි මුලින්ම හැදුවේ. ඒක අහලා මගේ සැමියා වචන ටිකක් දාලා කිව්වා මේක කොහොමද බලන්න කියලා. මම කිව්වා වචන ටික ලස්සනයි. අපි සුරේෂ් අයියටත් පෙන්නලා බලමු කියලා. සුරේෂ් අයියත් කිව්වා වචන ටික ලස්සනයි කියලා. ඊට පස්සේ අපි ගීතයේ පටිගත කිරීම් කළා. දැන් ගීතය පටිගත කරලා මාස 6ක් විතර වෙනවා.

වීඩියෝ එකක් නොකරම ගීතය නිකුත් කළේ?

වසර අවසාන වෙන්න කලින් මගේ අලුත් ගීතයක් රසික රසිකාවියන්ට තිළිණ කරන්න ඕනෙ කියන බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ. ඒ නිසා ගීතය නිකුත් කළා. ඉදිරියේදී ගීතයට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ගීතය අහපු ගොඩක් අය කිව්වා මේක චිත්‍රපට ගීතයක් වගේ ලස්සනයි කියලා. නමුත් මේක චිත්‍රපට ගීතයක් නෙවෙයි. දැනටමත් ගීතයට ප්‍රතිචාර ගලාගෙන එනවා.

ඔබේ මුල් කාලීන ගීත වගේම මේ ගීතයත් ප්‍රේක්ෂකයන් වැලඳගනියි
එහෙනම්?

මම හිතනවා අනිවාර්යයෙන්ම මේ ගීතයත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙයි කියලා. මේ ගීතය පටිගත කරන අවස්ථාවේ ඉඳලා මේ දක්වාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගීතය අහන අය පවා කියනවා ගීතය හිට් එකක් වෙනවා කියලා.

මේකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනෙ සුරේෂ් අයියට. සුන්දර තනුවක් මට නිර්මාණය කරලා දුන්නට.

ගීත එකතුවක් නිකුත් කරනවාට වඩා තනි ගීත නිකුත් කරන එක දැන් ප්‍රවණතාවක් නේද?

ගීත එකතුවක් ගත්තම ඒ වෙනුවෙන් ශිල්පියාට විශාල පිරිවැයක් දරන්න වෙනවා. ගීත එකතුවක් කරනවාට වඩා හැමෝටම පහසුයි එක ගීතයක් නිකුත් කරලා ඒ ගීතයේ ප්‍රතිචාරත් එක්ක ඊළඟ ගීතය නිර්මාණය කරන එක.

දැනට මම අලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කරලා තියෙන්නෙ. නමුත් මට හිතුණා අනෙක් අය කරනවා වගේම ගීත විදියට එක ගීතයක් රසික රසිකාවියන්ට අහන්න දීලා ඒකට ප්‍රතිචාර ලැබුණට පස්සෙ ඊළඟ ගීතය නිකුත් කරන්න ඕනෙ කියලා. ගීත එකතුවක් කළාම හැම ගීතයක්ම රසිකයන් අතරට යන්නෙ නැහැ. එක ගීතයක් කළාම හැමෝම අහනවා. ඒ නිසා මට හිතෙනවා ඒකෙ වාසියකුත් තියෙනවා කියලා.

සමහරු වාණිජ පරමාර්ථ ඇතිව ගීත නිර්මාණය කරනවා. නිර්මාණකරණය ඇතුළේ ඔබටත් එවැනි යටි බලාපොරොත්තු තිබුණද?

මම මේ ගීතය කළේ රිගින්ටෝන්වලට දාන්න බලාගෙනවත් කිසිම වාණිජ පරමාර්ථයකින්වත් නෙවෙයි. මගේ ගීතවලට ප්‍රිය කරන රසික රසිකාවියන් වෙනුවෙන් මට අවශ්‍ය වුණා මේ වසර අවසාන වෙන්න කලින් අලුත් ගීතයක් ලබා දෙන්න.

එළිමහන් සහ ගෘහස්ථ ප්‍රසංග යන දෙකෙහිම ඔබට හොඳ ඉඩක් ලැබෙනවා නේද?

ඔව්. ගෘහස්ථ ප්‍රසංගවලට වගේම එළිමහන් ප්‍රසංගවලටත් මම සම්බන්ධ වෙනවා. මේ ගීතය ගෘහස්ථ වගේම එළිමහන් ප්‍රසංගවලදීත් ගායනා කරන්න පුළුවන්. වාඩි වෙලා අහන අයට අහන්නත් පුළුවන්. නටනවා නම් නටන්නත් පුළුවන්. ඒ වගේම දැහැන්ගත වෙන්න පුළුවන් ගීතයක්.

පවුලේ වැඩකටයුතුත් එක්ක සංගීත වැඩකටයුතුවලට කාලය හදාගන්නෙ කොහොමද?

විවාහ වෙන්න කලින් නම් කලා කටයුතුවලට මට ඕනෑ තරම් නිදහස තිබුණා. එතකොට මගේ මව සියලුම දේවල් සම්පාදනය කරලා දුන්නා.

විවාහයත් එක්ක මම ගෘහණියකගේ මෙන්ම මවකගේ කාර්යයනුත් ඉතාම කැමැත්තෙන් කරනවා. මට සේවිකාවක්වත් නැහැ. මම කිසිම කෙනකුට මගේ වැඩ පවරන්නෙ නැහැ. පවුලේ වැඩකටයුතු සහ සංගීත වැඩකටයුතු සමබරව කරගෙන යනවා.

පවුලෙනුත් ඔබට ලොකු සහායක් ලැබෙනවා ඇති?

මගේ මවුපියන්, මගේ සැමියා, මගේ දරුවාගෙන් ලොකු ආදරයක් සහායක් ලැබෙනවා මගේ වැඩකටයුතුවලට. ඒ ආදරය මම ශක්තියක් කරගෙන කාලය කළමනාකරණය කරගෙන මොන වැඩේ තිබුණත් මගේ සංගීත වැඩකටයුතු පැහැර හරින්නේ නැතිව ඉටු කරනවා.

ප්‍රේක්ෂකයන් වෙනුවෙනුත් ඔබට යමක් කියන්නත් ඇති?

මගේ ජීවිතයට මට අත දුන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතර සුවිශේෂී ස්ථානයක් හිමිවෙන්නෙ මගේ රසික රසිකාවියන්ට. ඒ අය තමයි කෝ තාම අලුත් ගීතයක් ආවේ නෑනෙ කියලා මාව දිරිමත් කරන්නෙ. ඒ අය තමයි අලුත් ගීත ඕනෙ කියලා ගීත ඉල්ලීම් කරන්නෙ. ඒ ඉල්ලීම්වලට ප්‍රතිචාර විදියට තමයි මම ගීත නිර්මාණය කරන්නෙ. ඒ අයගේ ආදරය නැත්නම්, ඒ අය යම්කිසි තැනකට මාව ඔසවලා තිබ්බේ නැත්නම් උරේෂා රවිහාරි කියන චරිතය මෙච්චර දුරක් යන්නෙ නැහැ.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

Related posts

රජයේ සේවක පඩි ගෙවන්න වසරකට බිලියන 1200ක්… සෙසු සියල්ලටම ඉතිරි බිලියන 200යි..

Shiran Viraj

අනිවාර්යෙන් විදුලි බිල වැඩි කල යුතුයි..- මහජන උපයෝගිතා කොමිසම දන්වයි..

Shiran Viraj

මෙරට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල

Shiran Viraj