28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

මාරම්බරීට 100 යි එඩ්වඩ් – චරිතා යුවළගේ පුතයි දුවයි වේදිකාවට…

නතාෂා අක්‌කා අවසර දුන්නා සුළඟක්‌ වී… දැන් කියන්නේ මම
එඩ්වඩ් – චරිතාගේ දුව ශාරන්‍යා
නංගි එක්‌ක ගීත දෙකක්‌ කරනවා
පුතු සංදීප
මා රම්බරී
කෝලවී පෑ මුවේ මන්දහාසේ
මන ලෝලවේ උන්මාදවී
මා හදා සැමදා පුණ්‍යවන්තී
හොඳ සංගීත නාදයක්‌….
හොඳ ගීයක්‌ රසවිඳීමේ පිපාසයෙන් හුදී රසික ජනතාව පවා පීඩා විඳින මොහොතක ඒ පිපාසය සන්සිඳුවන්නට රම්බරී දේවතාවිය හැර වෙන කවුරුන්ද?. තවමත් ගැමි සුවඳ සමගින් දිවි ගෙවන මනුස්‌සයා.. තම රසික ගී පවස සංසිඳුවාලන්න මා රම්බරී ගෙන එන සහෘදයා…
ලා සඳ පලුව ඇවිත්
නිල් ගිර මුදුනින්
රන්තරු මාල බැඳන්
රන්වන් අහසින්
අද හොඳම දවස
ඔබ එනවා නම්
හොඳම දවස… ජය දද බැඳි ගී ලොවේ ජයකොඩි. විශාරද එඩ්වඩ් ජයකොඩි ඇතුළු සිය පවුල මීවිතට එක්‌වන්නේ ඒ හොඳම දවස ගැන කියන්නටය.
එඩ්වඩ් මාරම්බරී 100 වැනි ප්‍රසංගයට මේ දිනවල සූදානම් වෙනවා කියලයි ආරංචිය ?
මගේ ඒක පුද්ගල ප්‍රසංගය මාරම්බරී. දැන් සියවැනි ප්‍රසංගය ඔක්‌තෝබර් 18 වැනිදා සවස 6.30 බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වීමට තීරණය කරලා තියෙනවා. ඒක පුද්ගල ප්‍රසංගයක්‌ කියන්නේ පෙA්‍රක්‍ෂකයන් එක්‌ක පැය දෙකක්‌ දෙකහමාරක්‌ අඛණ්‌ඩ සම්බන්ධතාවයක්‌ පවත්වාගෙන යන එකක්‌. මේක හරි බැරෑරුම් කාර්යක්‌ කියලා වෙලාවකට හිතෙනවා. දැන් මගේ සමකාලීන බොහෝ අය ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංග පවත්වනවා. මේක හොඳ ප්‍රවණතාවයක්‌. සුභාවිත ගීතයට ඇළුම් කරන බොහෝ පිරිස්‌ අපට හමුවෙනවා. සමහර මාධ්‍යවලින් අවරගණයේ ගීත වැඩිපුර ඇහෙන යුගයක මේ වාගේ සුභාවිත ගීත ඒක පුද්ගල ප්‍රසංග පවත්වන එක හොඳයි කියලයි මට හිතෙන්නේ.
ඒක පුද්ගල ප්‍රසංගවලට යොමුවෙන්න හිතුවේ ඇයි ?
අපි මේවාට පෙරහුරුවක්‌ පූර්වාදර්ශයක්‌ ලැබුවේ අපේ රටේ හිටපු දැවැන්තම මුදුන්මල්කඩ වූ අමරදේව සර්, නන්දමාලිනී මහත්මිය, සනත් නන්දසිරි ගුරුතුමා, වික්‌ටර් රත්නායක වැනි පිරිස නිසයි. මේ අතරිනුත් අමරදේව සර්ගේ “ශ්‍රවණ රමණී” ප්‍රසංගයේ සහ වික්‌ටර් රත්නායකගේ “ස” ප්‍රසංගයේ මට අත්වැල් ගයන්න අවස්‌ථාව ලැබුණා. ඉතිං මේවා නිසා අපි ඒක පුද්ගලය ප්‍රසංගයක්‌ කොහොමද කරන්නේ, මොනවගේ ආකෘතියක්‌ද මේකේ රඳවාගත යුත්තේ, මොනවාද ඒක පුද්ගල ප්‍රසංගයකදී කළ යුත්තේ, නොකළ යුත්තේ කියන කරුණ පිළිබඳ හොඳ පන්නරයක්‌ ලැබුවා.
මාරම්බරී රටවටා යන ගමනේදී වෙනසක්‌ කරන්න අදහසක්‌ නැතිද?
අපි ආවෙත් එකම රටාවකට නෙමෙයි. අපි හැමදාම වෙනස්‌ ආරයේ ගීත ගායනා කළා. වරින්වර වෙනස්‌ කරමින් තමයි ඉදිරියට යන්නේ. ආකෘතිමය වෙනසක්‌ විය යුතුයි කියලා අපටත් හිතෙනවා. ඉතිං අපි සියවැනි වැඩසටහනින් පසුව හොඳ ආකෘතිමය වෙනසක්‌ කරන්න බලාපොරොත්තුවෙනවා.
ඒ කියන්නේ ළඟදීම මාරම්බරී ප්‍රේක්‍ෂකයන්ට ලොකු වෙනසක්‌ ඇතිකරනවා?
ඔව්.
සියවැනි ප්‍රසංගයේදී දුවට පුතාට වැඩිඉඩක්‌ ලැබෙනවා කියලා ආරංචියි ?
නතාෂා දුව ගැයූ සුළඟක්‌ වී මම යනවා ගීතය මෙතෙක්‌ ප්‍රසංගවලදී දුව ගායනා කළා. ඒ එක්‌කම පුතා මුල් ප්‍රසංගයේ ඉඳලාම ගිටාරය වයමින් රටවටා ලෝකය වටා ගියා. දැන් පුතා ඔස්‌ටේ්‍රලියාවේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරලා ඇවිත් සිටිනවා. ඔහුට මූල්‍ය කළමනාකරණ උපාධියක්‌ තිබුණාට වැඩි කැමැත්ත තියෙන්නේ සංගීත උපාධිය හදාරන්න.
ඔබේ සමකාලීනයන්ගේ දරුවෝ දැන් ක්‍ෂේත්‍රයේ වැඩපටන්අරගෙන. පුතාටත් දැන් වැඩි පටන්ගන්න හොඳම කාලය ඇවිත් කියලා හිතෙන්නේ නැතිද?
ඔහුව ක්‍ෂේත්‍රයට අනුගත කරන්න අපිට බැහැ. ඔහුටත් ඇවිත් අනුගත වෙන්න බැහැ. මේක ක්‍රම ක්‍රමයෙන් ඇවිත් ජනතාව ඉල්ලන තත්ත්වයට පත්කරගන්න ඕනෑ. මගේ නිර්මාණයක්‌ ගැයුවාට, සමහරවිට වෙනත් ගායකයෙකුගේ හෝ ගායිකාවකගේ නිර්මාණයක්‌ ගායනා කළාට අමාරුයි. තමුන්ට හොඳ අනන්‍යතාවයක්‌ තියෙන්න ඕනෑ.
සංදීප ජයකොඩි පුතු ක්‍ෂේත්‍රයට පිවිසෙන්න හිතාගෙන ඉන්නේ කොහොමද?
තාත්තා මට බලපෑම් කරලා නැහැ මේ ක්‍ෂේත්‍රයට එන්න ඕනෑ කියලා. ඉස්‌සර ඉඳන්ම කරන දෙයක්‌ හරියට කරන්න නිදහස දීලා තියෙනවා. මගේ කැමැත්තෙන් තමයි සංගීත කරන්න හිතාගෙන ඉන්නේ.
වසන්තයේ අග ගීතය රීමේක්‌ කළා නේද?
ඔව්. ඒක කළේ මමයි පේෂල මනෝඡ් අයියා එක්‌ක එකතුවෙලා. තාත්තාගේ ඒ ගීතය කරන්න පෙළඹුණේ ජනප්‍රියත්වය බලාගෙන නෙමෙයි. තාත්තාගේ තියෙන පැරණි ගීත නව මුසුවකින් ක්‍ෂේත්‍රයේ අලුත් අයට දෙන්නේ කොහොමද කියලා තීරණය කරන්න.
නංගි ශාරන්‍යා සමග ඔබට නිර්මාණයක්‌ කරන්න අදහසක්‌ නැතිද?
නිර්මාණ දෙක තුනක්‌ ඉදිරියේදී එන්න තියෙනවා. නංගිත් එක්‌ක එකතුවෙලා බටහිර සහ රාගධාරී සංගීතය මුසුකරලා ගීතයක්‌ කරන්න අදහසක්‌ තියෙනවා.
මේ දක්‌වා මාරම්බරී වේදිකාවේදී චරිතාට ලොකු ඉඩක්‌ ලැබුණේ නැහැ. සියවැනි ප්‍රසංගයෙන් පසුව චරිතාට ලොකු ඉඩක්‌ ලැබේවිද?
ඇත්තටම චරිතා මේ ප්‍රසංගයේ ලොකු ඉඩක්‌ ගන්න කැමැති නැහැ. යුග ගීත දෙකක්‌ කියන කතාවට කියන්නෙත් හැමවිටම එක යුග ගීතයක්‌ කියමු කියලා. එඩ්වඩ්ගේ ගීතවලට වැඩිපුර ඉඩක්‌ දෙන්න කියලයි කියන්නේ. අනික මේක එඩ්වඩ් ජයකොඩි ඒක පුද්ගල ප්‍රසංගය කියලා එයා එහෙම ෂේප් වෙන්න බලනවා. නමුත් සමහර තැන්වලදී ප්‍රේක්‍ෂකයන් ඇයගේ ගීත ඉල්ලන අවස්‌ථා තියෙනවා.
ශාරන්‍යා දුව කැමැති නිළියක්‌ වෙන්නටද? නැතිනම් ගායිකාවක්‌ වෙන්නටද?
සංගීත ක්‍ෂේත්‍රයට එන්න කැමැත්තක්‌ තිබෙනවා. හැබැයි දැන්ම නෙමෙයි. උසස්‌ අධ්‍යාපනය හදාරලා තමයි මෙතැනට එන්න කැමැති.
ශාරන්‍යා සංදීප අයියා එක්‌ක එකතුවෙලා මාරම්බරී වගේ ප්‍රසංගයක්‌ කරන්න අදහසක්‌ නැතිද?
එහෙම අදහසක්‌ තවම ඇවිත් නැහැ. තවම අපි දෙන්නාම ක්‍ෂේත්‍රයට ඇවිත් නැහැනේ. ඉදිරියේදී බලමු.
අම්මා තාත්තා ජනප්‍රිය තරු යුගලක්‌. දුව කොහොමද ඒක දැනෙන්නේ ?
ගොඩක්‌ වෙලාවට හොඳයි. සමහර වෙලාවට ඒක ටිකක්‌ වදයක්‌.
මගතොටේදී ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපේ තාත්තා අම්මා රටේ හොඳ අනන්‍යතාවයක්‌ ගොඩනගලා තියෙනවා. ඒ වගේම හොඳ ගරුත්වයක්‌ රැකගෙන ජීවත්වෙලා තියෙනවා.
අම්මා තාත්තාට ලොකු තැනක්‌ තියෙන හින්දා දුවට පරිස්‌සම් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එහෙමද?
ඔව්. අපි කොහොමත් ගෙවල්වල පරිස්‌සමෙන් තමයි ඉන්නේ. සංස්‌කෘතියට පිටින් අපෙන් දෙයක්‌ සිද්ධවෙන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්‌ වෙලා නැහැ.
එඩ්වඩ් චරිතාගේ දුව වීම හින්දා ඔයාගේ නිදහසට බාධාවක්‌ ඇතිවෙලා තියෙනවාද?
සමහර වෙලාවට බාධාවක්‌ වෙලා තියෙනවා. පාසලේදී එහෙම. අම්මා තාත්තා හින්දා මිනිස්‌සු වෙනස්‌ ඇහැකින් බලනවා. හැබැයි නරකක්‌ වෙලා නැහැ.
මාරම්බරී ප්‍රසංගයේදී දුව ශාරන්‍යාට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම මෙච්චර කල් ගායනා කළේ නතාෂා පෙරේරා අක්‌කා ගායනා කළ සුළඟක්‌ වී මම එනවා කියන ගීතය. ගොඩක්‌ කට්‌ටිය කැමැතියි අපි සින්දු කියනවාට.
නතාෂා පෙරේරා හමුවුණහම මොකද ඒ ගැන කිව්වේ ?
ළඟදී හම්බවුණේ නැහැ. ගොඩක්‌ කාලයකට පෙර හමුවුණා. එයා කැමැතියි. නතාෂා අක්‌කා තමයි මට ඒ ගීතය කියන්න කියලා යෝජනා කළේ. නතාෂා අකකායි මායි හොඳ යාළුවෝ.
දුව අම්මාගේ හැකියාවන් ගැන මොකද හිතන්නේ ?
අම්මාගේ හැකියාවන් අනන්තයි. ඇයට ලොකු හැකියාවන් තියෙනවා. එයාට බැරිදෙයක්‌ නැහැ.
අම්මා තාත්තා හිටපු තැනට දුව ශාරන්‍යාට එන්න අදහසක්‌ නැතිද?
අම්මා හිටපු තැනට එන්න ගොඩක්‌ අමාරුවෙයි. ඔවුන් ගොඩක්‌මහන්සිවෙලා තියෙනවා.
චරිතා මාරම්බරී සියවැනි ප්‍රසංගයට ඔබේ සූදානම මොනවගේද?
ඇත්තටම සියවැනි ප්‍රසංගය වෙනස්‌ම ස්‌වරූපයකින් කරන්න බලාපොරොත්තුවෙනවා. නමුත් අපි දැනට මාරම්බරී රටවටා ගමනක්‌ ගියා. තව ඉදිරියට යන්නත් බලාපොරොත්තුවෙනවා. තවද අපි නොගිය පළාත්වලට සුපුරුදු මාරම්බරී ප්‍රසංගය කරන්න අදහසක්‌ තියෙනවා. අපි ගිය පළාත්වලට වෙනස්‌ම ප්‍රසංගයක්‌ කරන්නත් හිතාගෙන ඉන්නවා.
මාරම්බරී ප්‍රසංගයේ නම වෙනස්‌ කරන්න අදහසක්‌ නැතිද?
නම වෙනස්‌ වෙන එකක්‌ නැහැ කියලා මට හිතෙනවා. ඒක අපේ අනන්‍යතාවය. ඒක අපේ පවුලට වාසනාව ගෙනැවිත් දුන්න නමක්‌. මම හිතනවා නමේ වෙනසක්‌ වෙන්නේ නැහැ කියලා. අපි දෙන්නාම එකට වැඩි දායකත්වයක්‌ දීලා ඉදිරි ප්‍රසංගය කරන්නත් අදහසක්‌ තියෙනවා.
දුව පුතාට මේ ප්‍රසංගයේදී වැඩි ඉඩක්‌ දෙන්න අදහසක්‌ නැතිද?
සියවැනි ප්‍රසංගයේදී අපි දෙන්නා එක්‌ක ඒ දෙන්නත් ගීත ගායනා කරනවා. වාදනයෙන් සහාය වෙනවා. පුතා කළේ මූල්‍ය කළමනාකරණය. නමුත් සංගීතයට කැමැතියි. අපි ඉතිං කියන්නේ ඔවුන්ගේ කැමැති දේ ඉඩක්‌ දෙනවා. ඕනෑම දෙයක්‌ හරියට කරන්න කියලා තමයි කියන්නේ.
එඩ්වඩ් – චරිතාගේ සමකාලීනයක්‌ගේ දරුවන් ක්‍ෂේත්‍රයට ඇවිත් වැඩපටන්අරගෙන?
මෙහෙමයි. මව් උරුමය, පිය උරුමය අරගෙන ක්‍ෂේත්‍රයට එන්න ලැබීම වාසනාවක්‌ සහ මවගේ සහ පියාගේ දේවල් ඉදිරියට අරගෙන යැමත් දරුවන්ගේ වගකීමක්‌. ඊට අමතරව ඔවුන් ඔවුන්ටම කියලා අනන්‍යතාවයක්‌ ගොඩනගාගන්නවා නම් ඊට එහා ගිය දෙයක්‌.ඉතිං මම හිතනවා කලාකරුවන්ගේ දරුවන්ට ලොකු වගකීමක්‌ තියෙනවා. මොකද ඔවුන්ට තියෙනවා පරපුරක අභිමානය ඉදිරියට ගෙනියන්න. ඔවුන් තුළ අභිමානය ගොඩනගාගන්න.
ඒ කියන්නේ එඩ්වඩ් චරිතාගේ අභිමාගය ඉදිරියට අරගෙන යැමේ වගකීම ශාරන්‍යාට සහ සදීපට භාරයි?
අපේ අභිමානය විතරක්‌ නෙමෙයි ඔවුන්ගේ අභිමානයත් ඔවුන් තනාගත යුතුයි.
දුව ශාරන්‍යා නිළියක්‌ වෙනවාට එහෙමත් නැතිනම් ගායිකාවක්‌ වෙනවාටද චරිතා කැමැති ?
අපේ ආශාවන් ළමයි ඉටුකරාවිද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. හැමවෙලේම අපි කියන්නේ ඔවුන් කැමැති දෙයක්‌ හරි විදිහට කරන්න කියලා තමයි කියන්නේ. හැමදේටම කැමැත්ත තියෙන්න ඕනෑ. ඒ අනුවයි ඉඩකඩ හදාගන්නේ. අකමැත්තෙන් කරන කිසිදෙයකට ඉඩක්‌ නැහැ.
ඒ කියන්නේ චරිත අක්‌කාගෙන් දුවට හෝ පුතාට මේ දේ කරන්න කියලා බලපෑමක්‌ නැහැ ?
නැහැ. එහෙම නැහැ. ක්‍ෂේත්‍රයේ යමක්‌ කරද්දී ඔවුන් ආසයි. මම හිතනවා කැමැත්ත මත තමයි සියල්ල තීරණය වෙන්නේ.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

මෙරටින් එක් දිනයකදි හමු වු වැඩිම කොරෝනා ආසාදිතයින් සොයා ගත් ආකාරය

Shiran Viraj

ජනපති ඔස්ට්‍රේලියා යන්න සැරසෙයි

Shiran Viraj

Fitch Rating ශ‍්‍රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..

Shiran Viraj