31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local News

නිල්වලා සහ ගිං ගඟ පිටාර ගලයි, කළු සහ කැළණි අවදානම තවදුරටත්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගිං සහ නිල්වලා යන ගංඟා මේ වනවිට පිටාර ගලමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ කැළණි සහ කළු ගංගා පිටාර මට්ටමට පැමිණ ඇති බැවින්  ඒ අවට පහත් බිම්වල ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බවයි.
කළු ගඟ – ඇල්ලගාව සහ මිල්ලකන්ද ප්‍රදේශවලින්ද, කැලණි ගඟ, හංවැල්ල සහ ග්ලේන්කෝස් ප්‍රදේශවලින්ද පිටාර ගැලීමේ අවදානමක් පවතිනවා.
එමෙන්ම මේ වනවිට නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් ද, ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් ද මේ වනවිටත් පිටාර ගලා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
බද්දේගම – ගාල්ල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක්ම ජලයෙන් යට ඇති බවයි වාර්තාවන්නේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂිකා ප්‍රේමා හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ගංගා පිටාර ගැලීම හේතුවෙන් ගංගා අවට පහත්බිම්වල සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසයි.
රත්නපුර, කෑගල්ල, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, යන දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 තුළද නායයෑම් සහ ඉවුරු කඩාවැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
මේ අතර උදෑසන 5.30 ට ඉදිරි පැය 48 සඳහා බලපැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වඩා තද වැසි ඇතිවන බවයි.
නිරත දිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පැවතීම මීට හේතුවයි.
මේ හේතුවෙන් දිවයිනේ නිරතදිග කොටස් තද වැසි සහ සුළං තත්වයක් අපේක්ෂා කෙරෙනවා.
බස්නාහිර / සබරගමුව / දකුණු / මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.
අනෙක් පළාත්වල විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.
ගතවු පැය 21 ක කාලය තුලදී ගාල්ල සහ රත්නපුර කාලගුණ විද්‍යා මධ්‍යස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ද වාර්තා වී තිබෙනවා.
මේ අතර මන්නාරම සිට කොළඹ / ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් පමණ දක්වා වන තද සුළං ඇති විය හැකියි.
එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රලු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රලු වනවා.
මේ පිළිබඳ විමසිලිමත් වන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ අතර වවුනියාවට ඊයේ අද හැලූනු අධික වර්ෂාවත් සමග ඇතිවූ තද සුළං තත්ත්වය හේතුවෙන් ගස් කිහිපයක් කඩාවැටී ඇති බව වාර්තාවනවා.
ඒ හේතුවෙන් වවුනියාව නගරයේ ස්ථාන කිහිපයක මාර්ගවල ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව සඳහන්.
(under the courtesy of hirunews news web)

Related posts

රෝගීන්ගේ ඩී එන් ඒ පරීක්‍ෂා කර ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙලක් ලඟදීම

Shiran Viraj

නායයාම් නිවේදන තවදුරටත් වලංගුයි – ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට – පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින්න

Shiran Viraj

විදුලි බිල එකවර අඩු කළ නොහැකි බවත් ඒ සඳහා දිගුකාලීන සැලසුම් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි

Shiran Viraj
Translate »