30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News Political

නව ව්‍යවස්ථාව සම්මත කිරීම අඩපන කරන්න කාටවත් බෑ – අගමැති

පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ ජනාධිපති ධූරය අහෝසි කිරීම, ජාතික ගැටලුවට විසඳුම් ලබාදීම ආදිය ඇතුළත් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමයි. බලයට පත්වූ වහාම මෙම පොරොන්දුව ඉටුකරන බවට පැවසුවද යහපාලන රජය බලයට පත්වී වසර දෙකක් ඉක්ම ගියද තවමත් එම පොරොන්දුව ඉටුකිරීම අසමත් වී තිබේ.
 මේ සම්බන්ධයෙන්, රජය නියෝජනය කරන එජාපය හා ශ්‍රීලනිපය අතර මතවාදීමය ගැටලුවක් පැනනැගී තිබේ. එක්සත් ජාතික පක්ෂය නව ව්‍යවස්ථාවක් ගෙනඒමේ බලාපොරොත්තුවෙන් සිටින අතර ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටුකිරීම රජයේ වගකීම බව එජාප පාර්ශ්වය අවධාරණය කරයි.
එහෙත් ශ්‍රීලනිපය මීට එරෙහිව කරුණු දක්වන අතර ඔවුන් පවසන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඒම ප්‍රමාණවත් බවයි. එසේම ජනමත විචාරණයකට බලපාන කිසිදු කරුණක් ඇතුළත් කිරීමට ද ශ්‍රීලනිප පාර්ශ්වයන් විරෝධය එල්ල වේ.
පසුගියදා අගමැතිවරයා හමුවූ එජාප ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් පිරිසක් අගමැතිවරයාට පෙන්වා දී ඇත්තේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම ඉතා ඉක්මනින් සිදු කළයුතු බවයි. එසේ නොමැතිවුවහොත් යහපාලනය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය කඩවන බව ඔවුන් අගමැතිවරයාට පෙන්වා දී තිබෙනවා.
එම හමුවේදී එජාප සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ නව ව්‍යවස්ථාවක් ගෙනඒමට විරෝධය පළකරන්නේ ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා සමග එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජයට පත්කිරීමට උත්සාහ කළ අය බවයි. එම පිරිස මැතිවරණ පරාජයෙන් පසුව ජනාධිපතිවරයා වෙත ළංවී ජනාධිපතිවරයාගේ මතය වෙනස් කිරීමට උත්සාහ දරන බවත් එම තත්වය පරාජය කිරීමට කටයුතු කළයුතු බවත් ඔවුන් අගමැතිවරයාට පෙන්වා දී තිබෙනවා.

අගමැතිවරයා තම මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවයි. මේ වනවිට නව ව්‍යවස්ථාවට අදාලව පත්කළ අනුකමිටුවලට කටයුතු සියල්ල අවසන් වී ඇත් බවත් ඉදිරි කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කරන බවත් අගමැතිවරයා පවසා තිබෙනවා.
මෙම අනු කමිටු සඳහා යෝජනා ඉදිරිපත් කළ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෙනත් සංවිධාන විසින් විවිධ පරස්පර යෝජනා ඉදිරිපත් කිර තිබෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ලබන සතියේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මෙම සියලු සංවිධානවල අදහස් සමාලෝචනය කිරීමට නියමිතය.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යන්නේද නැද්ද සම්බන්ධයෙන් හා නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන්නේද අහෝසි කරන්නේද ආදී වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙම මෙහෙයුම් කමිටුවේදී තීරණය කරන බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ. මීට අමතරව මැතිවරණ ක්‍රමය, බලය බෙදීම, පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් ද මෙම කමිටුවේදී සාකච්ඡා කරන බව අගමැතිවරයා ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර තිබෙනවා.
මෙම මෙහෙයුම් කමිටුවෙන් ගන්නා තීරණ සම්බන්ධයෙන් වාර්තාවක් පිළියෙල කොට එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සම්බන්ධයෙන් විවාදයක් පවත්වන බවත් අගමැතිවරයා පෙන්වා දෙනවා. ඉන්පසු සියලු අදහස් සැලකිල්ලට ගනිමින් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කටයුතු කරන බවයි අගමැතිවරයා පවසන්නේ.
නව ව්‍යවස්ථාව සම්මත කිරීමේ වැඩපිළිවෙල අඩපන කිරීමට හා කකුලෙන් ඇදීමට යම් යම් පාර්ශ්වයන් කටයුතු කරමින් සිටියද ජනතාවට පොරොන්දු වූ පරිදි එම වැඩපිළිවෙල සාර්ථකව සිදුකිරීම කිසිසේත් අතරමග නතර නොකරන බවයි අගමැතිවරයා පවසන්නේ.

Related posts

මහජන රැළි එපා.. කොරෝනා පැතිරෙනවා.. අකුරු තේරෙනවනම් නිතර කියන්න උවමනා නෑ…

Shiran Viraj

කොස්, මඤ්ඤාක්කා මිලද දැඩි ලෙස ඉහලට..

Shiran Viraj

අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ..- බස්නාහිර ආයුර්වේද කොමසාරිස්

Shiran Viraj