mediahumanrights.lk
Local News News

ගවයන්ට අභයදානය දී කිරි කර්මාන්තය නැංවිය හැකිද

සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිරෙන් සපිරි දැයක් පිළිබඳ සඳහන් කර ඇත. එය කොතෙක් දුරට යථාර්ථයක් කරගත හැකිද, ඒ සඳහා කළ යුතු දෑ මොනවාද? ඒ සඳහා යා යුත්තේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකා පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මෙන්ම සබරගමුව විශ්වවිද්‍යාල කෘෂි විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා සමග කළ සාකච්ඡාවකින් මෙම ලිපිය සකසා ඇත.

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ගොඩනැගී ඇත්තේ ස්ථම්භ තුනකිනි. ඒ
1. කුඩා කිරි ව්‍යවසායකයා
2. මධ්‍ය පරිමාණ කිරි ව්‍යවසායකයා
3. මහා පරිමාණ කිරි ව්‍යවසායකයා

මෙම ස්ථම්භ තුනේ නියෝජනයෙන් වසරකට නිපදවනුයේ කිරි ලීටර් මිලියන 420 ත් 450ත් අතර ප්‍රමාණයකි. දෙකෝටියකට වැඩි ජනතාවගෙන් නැවුම් කිරි පරිභෝජනය  සඳහා දිනකට අවම වශයෙන් මිලි ලීටර් 100 කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට ලබා දේ නම් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිර්ණායක අනුව දළ වශයෙන් වසරකට කිරි ලීටර් මිලියන 780 ක ප්‍රමාණයක් අවශ්‍යවේ. බටර් චීස්, යෝගට් ආදී සියල්ල එක්වූ විට කිරි ලීටර් මිලියන 1300 ක් පමණ අවශ්‍ය වේ.

මෙම අවශ්‍යතාවන්ගෙන් දැනට ලංකාවේ කිරි නිෂ්පාදන 35% කි. ඉතිරි 65% පිටරටින් ගෙන්වනු ලබන අතර ඒ සඳහා වසරකට රුපියල් බිලියන 54 – 58 අතර මුදලක් වැයවේ.

මේ අනුව ලංකාවේ කිරි කර්මාන්තයේ වටිනාකම දළ වශයෙන්  බිලියන 35 ක් පමණ වේ. මින් 90% ක් කිරි සපයනුයේ කුඩා පරිමාණයේ කිරි ව්‍යවසායකයින්ය. සතුන් 02 සිට සතුන් 20 දක්වා වන ව්‍යවසායකයින්  මෙම මුළු නිෂ්පාදනයෙන් (ලීටර් මිලියන 420 න්) 90% ක් සපයනු ලබයි.

මහා පරිමාණ කිරි ගොවිපළවල් 3 ක් පවතී. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ගොවිපොළ, අඹේවෙළ/ නවසීලන්ත ගොවිපොළ හා වටවල ගොවිපොළ ඊට අයත්ය. සතුන් 1000 කට වැඩි ගොවිපොළ වන්නේ ඉහත කී ගොවිපොළ තුන පමණි. ඉන් මුළු නිෂ්පාදනයට දායක වන්නේ 3.5% ක් පමණි.

ඉතිරි 6.5% දායක කරනුයේ කිරි ගවයින් 25ත් 300ත් අතර ඇති මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් විසිනි. මේ අනුව නිෂ්පාදනයෙන් 90% කට දායක වන කුඩා පරිමාණ කිරි ව්‍යවසායකයා ආරක්ෂා කිරීම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වගකීම බවට පත්වේ.  කුඩා පරිමාණ කිරි ව්‍යවසායකයාට අභිජනන සතුන් ලබා දීම පශු සම්පත් මණ්ඩලයේ මූලික වගකීමයි. සමහර අවස්ථාවල කිරි ගොවියාගේ කිරි දෙනුන්ට එක පිට පිරිමි සතුන් ජනනය වන බැවින් ඒ ගැහැණු සතුන්ගේ අඩුව සඳහා මණ්ඩලය එම අවශ්‍යතාවයට උසස් ආරයේ ගැහැණු පැටවුන් ලබාදිය යුතුයි.

පශු සම්පත් මණ්ඩලයට මහා භාණ්ඩාගාරයෙන් වැටුප් සහ නඩත්තුව සදහා වාර්ෂික මුදල් වෙන් කිරීමක් සිදු නොවේ. මසකට ආයතනයේ වැටුප් සඳහා පමණක් ලක්ෂ 800 ක් පමණ වැයවේ. වසරකට වැටුප් ගෙවීමට පමණක් බිලියනයක් වැයවන අතර සත්ව ආහාර සැපයීමට තවත් බිලියනයක් වැයවේ.

කිරි නිෂ්පාදන ආශ්‍රිත හඳුනාගත හැකි ගැටලු‍ කීපයක් වේ. වාර්ෂිකව එක දෙනකුට එක පැටවකු ලැබිය යුතු වුවද එසේ නොලැබීමේ ප්‍රවණතාවක් ඇති අතර සත්ව ආහාර හිඟය සමග ඇති මන්දපෝෂණ තත්ත්වය මෙහි ප්‍රබල ගැටලු‍වක්ව පවතී. ගවයාගේ ආහාර ජීර්ණයට ක්ෂුද්‍ර ජීවීන් වැදගත් වන අතර එම ක්ෂුද්‍රජීවීන්ට ජීර්ණයට පහසු උපස්ථර තිබෙන කුඩා කැබලි ආහාර ලබාදිය යුතුය. මෙම ක්ෂුද්‍රජීවීන්ට පහසු උපස්ථරමය ආහාර ලබා නොදීමෙන් සහ ආහාරවල පවතින ගුණාත්මක භාවය අඩුවීමත් මත සතුන් මන්දපෝෂිත තත්වයෙන් පෙළීම හැකි ඉක්මනින්ම විසදාගත යුතුය. ලංකාවේ සිටින ගවයින්ගෙන් 60% – 75% මන්දපෝෂිත තත්වයෙන් පෙළෙයි.

ගවයන් සතුන් සඳහා දෙන ආහාර සලාකය යම් කාලයකට සහනයක් (අඩු මිලට) ලබාදීම, පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සහභාගීත්වයෙන් ඉහළ ගණයේ තෘණ, සයිලේජ් වැනි ආහාර සහ පැය 24 පුරා සතුන්ට පිරිසිදු ජලය ලැබෙන ක්‍ර‍මයක් සකසා දීම සහ කිරි එකතු කිරීම විධිමත් කිරීමෙන් වසරක කාලයකදී අද නිපදවන කිරි ප්‍රමාණයට අමතරව කිරි ලීටර් ලක්ෂයක් වැඩිකර ගැනීමට හැකියාව පවතී.

බොහෝ අය සිතනුයේ සතුන් පිටරටින් ගෙන්විය යුතු බව, දෙමුහුන් ඉහළ ගණයේ සතුන් අවශ්‍යයි යන්න මිස ඉන්නා සතුන්ගෙන් උපරිම පළදායීතාව ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර නොමැත. විය යුත්තේ ඉන්නා සතුන්ගෙන් උපරිම ධාරිතාවක් ලබාගන්නා අතර ඉහළ ආරේ වඩා කාර්යක්ෂම හා ප්‍රතිඵලදායී අභිජනන ප්‍රතිපත්තියකින් දේශීය කිරි ගවයකු නිර්මාණය කිරීමයි. ලංකාවේ සත්ව නිරෝධායන නීතිරීති අනුව ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් සත්තු ගෙන ඒමට එතරම් පහසු නොවේ. බොහෝවිට අවසරය ලැබෙන්නේ නවසීලන්තයෙන්, ඕස්ට්‍රේලියාවෙන් මෙන්ම ඩෙන්මාර්කය වැනි රටවලින් ගෙන්වීමට පමණක් වන අතර එම සත්වයන් ඇතැම් දේශගුණික කලාපයන්ට පමණක් යෝග්‍යවේ. අප රටට යෝග්‍ය පරිදි අභිජනනය ක්‍රියාවලිය තුළින් දේශීය කිරිගවයෙකු නිර්මාණය කිරීම මෙහි දී වැදගත් වන්නේ එම නිසාය.

ඉහළ ගණයේ ආහාර නොමැතිවීම, නිසිලෙස ක්‍රියාත්මක වන සත්ව රෝග සඳහා සහනදායී ලෙස දේශීය වශයෙන් නිෂ්පාදිත ඖෂධ ලබාදීම, නිසි කලට රෝග වැළක්වීමේ එන්නත් ලබාදීමේ නිසි ක්‍රියාවලියක් නොමැතිවීම යන කරුණු ගැන වඩා වැඩි අවධානයක් යොමුකර යුතුය. මුඛ හා කුර රෝග තත්වය නිසා වාර්ෂිකව කිරි සහ අනෙකුත් නිෂ්පාදන මගින් රුපියල් මිලියන ගණනක් මෙම ව්‍යාපාරයට අහිමිවේ. සත්ව රෝග වැළැක්වීමට විදේශ රටවල් මූලික කරගත් එන්නත් ගෙන්වීමේ ව්‍යපෘතිවලට මුල්තැන දීමත් දේශීය වශයෙන් නිපදවීමට උනන්දුවක් සහ අනුබල දීමක් හෝ දිරිගැන් වීමක් නොමැති වීමද මීට බලපෑ හේතූන් අතර වේ.

මේ සඳහා පශු පර්යේෂණ ආයතනයක් ගන්නොරුව පිහිටා ඇති අතර මෙරටට අවශ්‍ය ප්‍රතිකාර එන්නත් නිපදවීම හා බුරුළු ප්‍රදාහය සහ කිරි වැරීම සඳහා වන ඖෂධ නිපදවීමේ හැකියාව පවතී. දක්ෂ සැලකිය යුතු පර්යේෂකයන් පිරිසක්ද ඒ සතුව ඇති බව නොරහසකි. 2015 වසර වන විට මෙම ඖෂධ හා එන්නත් නිපදවීම සිදුකර ඇතත් මේ වන විට එය ඉතා පසුගාමී තත්වයක පවතී. පිටරටින් එන්නත් ගෙන්වීම සිදුවන අතර එම එන්නත්වල සාර්ථකත්වය අවම මට්ටමක පවතී. මිලද ඉතා අධිකය. මෙනිසා මෙම කර්මාන්තයේ නිරතව ඇති පිරිසට වැය ඉතා අධිකය. එම අධික පිරිවැය නිසා සතුනට අවශ්‍ය බෙහෙත් හේත්, එන්නත් ලබාදීමට යම් ආකාරයක මැළිකමක් දැක්වීමේ ප්‍රවණතාවයක් ගොවීන් අතර පවතී. මෙම ඖෂධ දේශීය වශයෙන් නිපදවා යම් සහනදායී මිලකට ලබාදීමේ වැඩපිළිවෙළක් දියත්වේ නම් කිරි ව්‍යවසායකයාට සහනයක් වේ.

වාර්ෂිකව 250,000 ක් (දෙලක්ෂ පනස් දහසක්) සතුන්ගෙන් කිරි ගන්නවා යනු පැටවුන් ද එම ප්‍රමාණයක් බිහිවීම සිදුවන අතර ඉන් 50% ක් පිරිමි සතුන් වේ. මෙම උපදින පිරිමි සත්තු ඉවත් කළ යුතු අතර මීට අමතරව සෑම ගොවිපළකම සිටින වැඩිහිටි සතුන්ගෙන් 20%  පරිභව ඝාතනය සඳහා (මස් පිණිස) ඉවත් කරනු ලබයි.

ලංකාවේ පවතින එක් ස්වයංපෝෂිත කර්මාන්තයක් ලෙස ගවමස් කර්මාන්තය සැලකේ. ලංකාවේ වාර්ෂික ගවමස් ඉල්ලු‍ම මෙට්‍රික් ටොන්  30,000 කි.

2019 වසරේ පිටරටින් ගෙන්වා ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 119 කි. ඊට වැයවී ඇති මුදල මිලියන 116 කි. දේශීයව මස් අනුභව කරන්නන්ට පිටරටින් මෙම මස් ආනයනයට වාර්ෂිකව රුපියල් බිලියන 30 ක් වැයවේ. මෙම පිරිමි සතුන් සහ වාර්ෂිකව ඉවත් කරන සතුන්ගෙන් (සත්ව අපහරණ ආදායම නොලැබී යාමෙන්) කිරි ව්‍යවසායකයාට ආදායමක් නොලැබුණහොත් එම ගොවිපළවල් පාඩු ලබන තත්වයට පත්වේ.

නැතහොත් දේශීය සත්ව අපහරණ කර්මාන්තය බිඳවැටීමත් සමග බිලියන 35 ක් වන දේශීය කිරි කර්මාන්තය කඩා වැටීමත් සිදුවේ.

බිලියන 54 ක් කිරිපිටි ආනයනය සඳහා වැයකරන අතර දේශීය කිරි හා ගව අපහරණ  කර්මාන්තය ලෙස ගත්කල මුළු වටිනාකම රුපියල් බිලියන 120 කි. මෙම කර්මාන්තය සඳහා ප්‍රතිපත්ති සැකසීමේදී මෙම ආර්ථික දත්ත විශ්ලේශණය නොකිරීම කණගාටුවට කරුණකි.

ගව අපහරණය නතර කිරීම තුල ආර්ථික හානිය එසේ වන විට වසරකට සතුන් ලක්ෂයක් අත්හැරීම තුළ සමාජ ගැටලු‍වක් ඇතිවේ. වසරකට සතුන් ලක්ෂයකට අභයදානය දීම සහ ඔවුන්ට ආහාර සපයන්නේ කෙසේද? කිරි ලබාදෙන සතුන් 250,000 (දෙලක්ෂ පනස් දහසකට) කට ආහාර සලාකය ලබා දිය නොහැකි පසුබිමක පවතින රට වාර්ෂිකව තවත් අමතර අපහරණ සතුන් ලක්ෂයක් රැකබලා ගන්නට ‍මහා භාණ්ඩාගාර ආර්ථිකය ශක්තිමත්ද යන්න ප්‍රශ්නයකි. දළ වශයෙන් මේ සඳහා රුපියල් බිලියන 6 ක් වැයවේ.

අන්තර් ජාතික නියමයන්ට අනුකූලව සතුන් අපහරණ නීතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව වැනි රටකට කෙතරම් ආර්ථික වාසියක් අත්වනු ඇත්දැයි ප්‍රතිපත්ති සම්පාදකයින් කල්පනා කර බැලිය යුතුය. කිරි කර්මාන්තය නංවාලීමට නම් කාරණා 3ක් සම්පූර්ණ කළ යුතුය.

සතුන්ට අවශ්‍ය පෝෂණය, ජලය සහ සැපපහසුව ලබාදීම, සත්ව රෝග නිවාරණය සහ ඖෂධ එන්නත් නිසිකලට සහනදායී ලෙස ලබා දීමට අවශ්‍ය උපරිම පහසුකම් සැලසීම, කෘතීම සිංචන ක්‍රියාවලිය යාවත්කාලීන කොට ලිංග නිර්මිත ශුක්‍රාණු භාවිතය, කලල බද්ධය වැනි ව්‍යාපෘති මගින් උසස් ආරයේ දේශීය කිරිගවයෙකු දේශීයව නිර්මාණය කිරීම සහ වසර අසූවකට අධික කාලයක් තුළ විවිධ අභිජනන මට්ටම් වලින් අභිජනනය සිදුකොට ඇති සතුන් සඳහා පුළුල් වශයෙන් ජානමය විශ්ලේශනයක් (Gene Sequencing) කොට සියලු‍ සත්ව නිෂ්පාදන දත්ත ඩිජටලීකරණය කිරීම වැනි ක්‍රියවලියක් හරහා මෙම සර්වකාලීන දැක්ම යථාර්තයක් කිරීමෙන් පමණක් දේශීය කිරි නිෂ්පාදනය සෞභාග්‍යයේ දැක්මට අනුව කිරෙන් සපිරි රටක් යන්න සඵල කර ගැනීමට හැකිවනු ඇත.

lankaleadnews

Related posts

දිවයින පුරා සහල් හිගයක් ගැන තොරතුරු

Shiran Viraj

කොරෝනා නිසා 361 මරුට – අසාධිතයින් ගණණ 17205 දක්වා සීග්‍රයෙන් ඉහළට

Shiran Viraj

ආණ්ඩුවට බහුතරය නැති කරමින් තවත් 10ක් විපක්‍ෂයට..

Shiran Viraj