දිවයින පුරා පවතින දැවැන්ත වර්ෂාපතනය හේතුවෙන් ප්රධාන ජලාශ රැසක ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යාම නිසා ඒවායේ වාන්දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව දැදුරුඔය, රාජාංගණය, කුකුළේගඟ සහ කලාවැව යන ජලාශවලින් මේ වන විට ජලය පිටකෙරෙමින් පවතින අතර, එම ජලාශවල පහළ ධාරාවේ සහ ගංගා නිම්න ආශ්රිත පහත්බිම්වල ජීවත්වන ජනතාවට දැඩි විමසිලිමත්භාවයකින් පසුවන ලෙස උපදෙස් දී තිබේ.
දැදුරුඔය ජලාශයේ ජල මට්ටම පාලනය කිරීම සඳහා එහි වාන්දොරටු 8ක් අඩි 2 බැගින් විවෘත කර ඇති අතර, එමඟින් තත්පරයට ඝන අඩි 10,400ක ජල ධාරිතාවක් දැදුරුඔයට මුදාහැරේ. ජලපෝෂක ප්රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය සහ ජලාශයට ගලා එන ජල ප්රමාණය අනුව මෙම වාන්දොරටු විවෘත කර තබන ප්රමාණය ඉදිරියේදී වෙනස් විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර රාජාංගණය ජලාශයේ ද වාන්දොරටු 6ක් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 3,800කට අධික ජල ප්රමාණයක් කලාඔයට මුදාහැරෙමින් පවතී. පවතින වර්ෂාපතනය සහ ජලාශයට ගලා එන ජල ධාරිතාව අනුව පෙrolling 9.00 වන විට මුදාහැරෙන ජල ප්රමාණය තත්පරයට ඝන අඩි 8,000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.
කුකුළේගඟ ජලාශයේ ද එක් වාන්දොරටුවක් විවෘත කර ඇති අතර, එමඟින් තත්පරයට ඝන මීටර් 45ක ජල ප්රමාණයක් පිටකෙරේ. ඊට අමතරව විදුලි බල උත්පාදනය සඳහා තත්පරයට ඝන මීටර් 48ක ජල ප්රමාණයක් මුදාහැරෙන බවත්, ඒ අනුව කුකුළේගඟ ජලාශයෙන් කුඩා ගඟට මුදාහැරෙන සමස්ත ජල ධාරිතාව තත්පරයට ඝන මීටර් 93ක් වන බවත් ජලාශ ඉංජිනේරුවෝ සඳහන් කරති.
එමෙන්ම ඉහළ ජලපෝෂක ප්රදේශවලට ලැබෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් දඹුලු ඔය හරහා තත්පරයට ඝන අඩි 5,500ක පමණ ජල ධාරිතාවක් කලාවැවට ගලා එමින් පවතින අතර, එහි වත්මන් ජල ධාරිතාව අක්කර අඩි 83,782 දක්වා ඉහළ ගොස් ඇත. කලාවැව පිටාර ගැලීමේ අවදානම හමුවේ එහි හදිසි වාන්දොරටු දෙක අඟල් 6 බැගින් විවෘත කර ඇති අතර, එමඟින් තත්පරයට ඝන අඩි 511ක ජල ප්රමාණයක් කලාඔයට මුදාහැරේ.
උද්ගතව ඇති තත්ත්වය හමුවේ දැදුරුඔය ජලාශයට පහළින් පිහිටි දැදුරුඔය ආශ්රිත ප්රදේශ සහ රාජාංගණය ජලාශයට පහළින් පිහිටි කලාඔය ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ගංගා හා ඇළ දොළවල ජල මට්ටම ඉහළ යාම පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දැඩි ලෙස ඉල්ලා සිටිනු ලැබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ බලධාරීන් විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන කෙරෙහි නිරන්තර අවධානය යොමු කර ඒ අනුව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

