කැලණි ගඟ ද්රෝණියේ ජල ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීම සහ ඉහළ නැංවීම වෙනුවෙන් ක්රියාත්මක කෙරෙන පස් අවුරුදු ව්යාපෘතියක් සඳහා රුපියල් මිලියන 600කට අධික මූල්ය හා තාක්ෂණික ආධාර ලබාදීමට ජපානය පියවර ගෙන ඇත. ඊට අදාළ මූලික ජල පරීක්ෂණ උපකරණ තොගය පරිසර අමාත්ය ඩොක්ටර් දම්මික පටබැඳි මහතා වෙත අද (26) නිල වශයෙන් භාරදෙන ලදී.
ජපාන ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ජපාන විද්යා හා තාක්ෂණ නියෝජිතායතනය (JST) එක්ව SATREPS වැඩසටහන යටතේ මෙම ව්යාපෘතිය ක්රියාත්මක කරයි. 2026 සිට 2030 දක්වා කාලය තුළ කැලණි ගඟ ද්රෝණියේ ජලජ පරිසරය නිරීක්ෂණය කිරීම සඳහා පූර්ණ දත්ත පද්ධතියක් (data platform) ස්ථාපිත කිරීම මෙහි මූලික අරමුණයි.
කොළඹ සහ තදාසන්න ප්රදේශවල ප්රධාන පානීය ජල මූලාශ්රය වන කැලණි ගඟ පරිසර දූෂණයෙන් ආරක්ෂා කර ගැනීම, ජල ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීම ශක්තිමත් කිරීම සහ සාක්ෂි මත පදනම් වූ රාජ්ය ප්රතිපත්ති සම්පාදනයට සහාය වීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
මධ්යම පරිසර අධිකාරී (CEA) ශ්රවණාගාරයේදී අද පැවැති ව්යාපෘති මෙහෙයුම් කමිටු රැස්වීමේදී ජපන් නියෝජිතයන් විසින් අදාළ උපකරණ අමාත්යවරයා වෙත භාරදුන් අතර, ඒවා මධ්යම පරිසර අධිකාරිය, මොරටුව විශ්වවිද්යාලය සහ ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය (KDU) අතර බෙදා හැරීමට පියවර ගැනිණි.
කැලණි ගඟ කිලෝමීටර් 145ක පමණ දිගකින් යුක්ත වන අතර එහි ද්රෝණිය වර්ග කිලෝමීටර් 2,300ක පමණ ප්රදේශයක් වසා පැතිර පවතී. ශ්රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක් (1/4) පමණ වෙසෙන්නේ මෙම ද්රෝණි කලාපය තුළ වන අතර, පානීය ජලය සැපයෙන ප්රධාන ජල පිරිපහදු හා බෙදාහැරීමේ මධ්යස්ථාන 14ක් මෙහි පිහිටා ඇත. එමෙන්ම බියගම සහ සීතාවක ආයෝජන කලාප ඇතුළුව මධ්යම පරිසර අධිකාරියේ අනුමැතිය ලත් කර්මාන්තශාලා 5,400කට අධික සංඛ්යාවක් මෙම ද්රෝණිය ආශ්රිතව ක්රියාත්මක වේ.
කෙසේ වෙතත්, කාර්මික අපජලය, පිරිපහදු නොකළ මළඅපද්රව්ය, කෘෂිකාර්මික අපද්රව්ය මෙන්ම වැලි සහ මැණික් ගැරීම හේතුවෙන් කැලණි ගඟ දැඩි ලෙස දූෂණයට ලක්වෙමින් පවතී. ගංවතුර සහ නියඟය වැනි දේශගුණික විපර්යාසයන් ද ජලයේ ගුණාත්මකභාවයට තර්ජනයක් වී ඇත. මීට අමතරව, බස්නාහිර පළාතේ බොහෝ නිවාසවල පානීය ජල මූලාශ්රය වන භූගත ජලයේ ගුණාත්මකභාවය මැනීමට නිසි ප්රමිතීන් නොමැති වීම ද මෙහිදී මතුව ඇති ප්රධාන ගැටලුවකි.
මෙම ව්යාපෘතිය යටතේ ද්රෝණිය පුරා විහිදුණු නිරීක්ෂණ ජාලයක් සහ ජලජ පරිසර දත්ත පද්ධතියක් සකස් කෙරෙන අතර, එමඟින් ජල ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු රැස්කර විශ්ලේෂණය කරනු ඇත. ප්රතිපත්තිමය රාමු සකස් කිරීම, නිලධාරීන් පුහුණු කිරීම, තාක්ෂණික විශේෂඥයන් සම්බන්ධ කරගැනීම සහ පර්යේෂණ වාර්තා ප්රකාශයට පත් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරේ. මොරටුව විශ්වවිද්යාලයේ පිහිටි ජලජ පරිසර දත්ත මෙහෙයුම් මධ්යස්ථානය මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමේදී ප්රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.
පරිසර අමාත්යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතාගේ සභාපතිත්වයෙන් මෙහෙයුම් කමිටුව ක්රියාත්මක වන අතර, ජපානයේ තොහොකු (Tohoku) විශ්වවිද්යාලයේ මහාචාර්ය සෝ කසාමා (So Kasama) මහතා මෙහි ප්රධාන පර්යේෂකයා ලෙස කටයුතු කරයි.
මෙම අවස්ථාවට JICA නියෝජිතයන්, මධ්යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, අධ්යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ, මොරටුව විශ්වවිද්යාලයේ සිවිල් ඉංජිනේරු විද්යා අධ්යයනාංශයේ මහාචාර්ය ලලිත් රාජපක්ෂ, කඩුවෙල නගර සභා කොමසාරිස් සහ පරිසර අමාත්යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය සහ ‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලයේ නියෝජිතයෝ ද මෙම වැඩසටහනට දායකත්වය දක්වති.
2030 වසර වන විට මහජනතාවට වඩාත් ආරක්ෂිත පානීය ජලය ලබාදීමේ අවසන් අරමුණ ඇතිව, කැලණි ගඟ ද්රෝණියේ ජල කළමනාකරණය විද්යාත්මක පදනමකින් යුතුව ඉහළ නැංවීමට මෙම ව්යාපෘතිය මඟින් පදනම වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

