නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 වන ශ්‍රේණිය සඳහා නිකුත් කළ ඉංග්‍රීසි භාෂා මොඩියුලවලට අසභ්‍ය වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. මෙම අසභ්‍ය වෙබ් අඩවි ලිපිනය ඇතුළත් වූයේ චේතනාන්විතවද, වැරදීමකින්ද නැතහොත් නොසලකා හැරීමකින්ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසත්, අදාළ ගුරු පුහුණු අත්පොත සහ මුද්‍රිත මොඩියුල නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් දැනුම් දුන්නාය.
නඩුව කැඳවූ අවස්ථාවේදී පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැබෑ වැරදිකරුවන් ආරක්ෂා කරමින් සිටින බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලි කළ පාර්ශ්වයන්ගේ ප්‍රකාශ නොසලකා හැර, සිද්ධියට වගකිව යුතු අධ්‍යාපන ලේකම්වරයාගේම පැමිණිල්ල මත පමණක් විමර්ශන මෙහෙයවීම ගැටලු සහගත බව ඔහු පෙන්වා දුන්නේය. මෙම පෙළපොත් මුද්‍රණය හේතුවෙන් රජයට රුපියල් මිලියන 60කට අධික පාඩුවක් සිදුව ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාක්ෂි විනාශ කිරීමට ඉඩ ලබා දෙමින් විමර්ශන මන්දගාමීව සිදු කරන බවත් නීතිඥවරයා චෝදනා කළේය.
මෙහිදී කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 35 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. විශේෂයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරුන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇති අතර, ඔවුන් සහ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂවරයා අතර හුවමාරු වූ විද්‍යුත් තැපැල් පණිවිඩ සහ විද්‍යුත් උපකරණ සම්බන්ධයෙන් වෝහාරික පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය සඳහන් කළේය. කෙසේ වෙතත්, විමර්ශන නිසි පරිදි සිදු නොවන්නේ නම් ඉදිරියේදී පෞද්ගලික නඩුවක් ගොනු කරන බවට නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අනතුරු ඇඟවීය.

