ශ්‍රී ලංකාවට මෑතකදී බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ගොවි, සත්ව පාලන සහ ධීවර ප්‍රජාවන්ගේ ජීවනෝපායන් යළි ගොඩනැගීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 16.5ක ජාත්‍යන්තර ආධාරයක් ලබාදෙන ලෙස රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානය ආයාචනය කර තිබේ. දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල කළ මෙම දරුණු දේශගුණික විපත හේතුවෙන් මිලියන 2.2කට අධික ජනතාවකගේ ජන ජීවිත අඩාල වී ඇති අතර, ඉන් මිලියන 1.1ක ජනතාවකට ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ සහාය කඩිනමින් අවශ්‍යව පවතී. විශේෂයෙන්ම 2025/26 මහ කන්නය ආරම්භයේදීම මෙම විපත සිදුවීම නිසා කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 129,000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වී වගා හානි සිදු වී ඇත.
මෙම ආපදාව හේතුවෙන් සත්ව පාලන සහ ධීවර අංශවලට ද දැවැන්ත පාඩුවක් සිදු වී ඇති බව FAO වාර්තා පෙන්වා දෙයි. ගවයන්, එළුවන් සහ බැටළුවන් 53,000කට ආසන්න සංඛ්‍යාවක් සහ කුකුළන් 475,000ක් පමණ අහිමි වී තිබේ. ධීවර හා ජලජ ජීවී වගා අංශයට සිදු වූ හානිය අමෙරිකානු ඩොලර් මිලියන 66-69ත් අතර අගයක් ගන්නා බවට ඇස්තමේන්තු කර ඇත. ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන FAO නියෝජිත විම්ලේන්ද්‍ර ෂරන් මහතා සඳහන් කළේ, තීරණාත්මක මහ කන්නය අහිමි වීම වැළැක්වීමට සහ ආහාර ආධාර මත යැපීම අවම කිරීමට මෙම පූර්ව ප්‍රකෘතිමත් කිරීමේ සහාය අත්‍යවශ්‍ය බවයි.
FAO සංවිධානය විසින් ඉලක්ක කරනු ලබන මෙම සහන වැඩපිළිවෙළ යටතේ මධ්‍යම, නැගෙනහිර සහ වයඹ ඇතුළු පළාත් කිහිපයක පවුල් 256,000කට පමණ ප්‍රතිලාභ සැලසීමට නියමිතය. සැලසුම්ගත මැදිහත්වීම්වලට කුඩා පරිමාණ ගොවීන්ට බීජ හා පොහොර ලබා දීම, හදිසි සත්ව සෞඛ්‍ය සේවා සැපයීම සහ හානි වූ ධීවර ආම්පන්න අලුත්වැඩියා කිරීම ඇතුළත් වේ. මීට අමතරව ‘වැඩ සඳහා මුදල්’ (Cash-for-work) වැඩසටහන් මගින් සුන්බුන් ඉවත් කිරීමේ කටයුතුවල නිරත වන ප්‍රජාවට සෘජු මූල්‍ය ආධාර ලබා දීමට ද කටයුතු කෙරේ.
කෙසේ වෙතත්, අවශ්‍ය මුදලින් මේ වන විට ලැබී ඇත්තේ ඩොලර් 400,000ක මුදලක් පමණක් වන අතර එය සමස්ත අවශ්‍යතාවයෙන් 2.4%ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයකි. අවශ්‍ය සහාය නියමිත කාලයට නොලැබුණහොත් ලක්ෂ සංඛ්‍යාත පවුල්වලට සම්පූර්ණ වගා කන්නයක් මග හැරී රටේ ආහාර සුරක්ෂිතතාවයට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බවට එම සංවිධානය අනතුරු අඟවයි. මේ වන විට FAO සංවිධානය කෘෂිකර්ම සහ ධීවර අමාත්‍යාංශ මෙන්ම ලෝක ආහාර වැඩසටහන (WFP) සමඟ එක්ව සහන කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටියි.

