25 C
Colombo
2026-02-18
mediahumanrights.lk
NewsPolitical

මෙවර ඉදිරිපත් කරන්නේ සාම්ප‍්‍රදායික නොවන අයවැයක්…- PB

සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.

හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වනු ඇති අතර “සෞභාග්‍යයේ දැක්ම” තුළ කටයුතු කරමින් රටේ ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (02) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු පිළිතුරු සැපයූහ.

“ඉදිරි අය වැය සහ රටේ ආර්ථික තත්ත්වය” තේමාව යටතේ මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.

රටේ ආදායම් උත්පාදනයට භාණ්ඩ හා සේවාවල නිෂ්පාදන පරිමාව ඉහළ නැංවිය යතුය. එබැවින් භාණ්ඩ හා සේවාවල පරිමාව නැංවිය හැකි ආදායම් ප්‍රතිපත්ති මෙවර අය වැයට ඇතුළත් වනු ඇත. ග්‍රාමීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවිය යුතු අතර ඒ සඳහා වූ යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.

දේශීය ව්‍යාපාරිකයන්ට, නව ආයෝජකයන්ට මෙන්ම සංචාරකයන්ට ආකර්ෂණීය රටක් නිර්මාණය විය යුතු අතර රටේ සම්පත්වලට අමතරව නව ආයෝජන අවස්ථා රටට උදා වන්නේ එමගින් බව ද ජනාධිපති ලේකම්වරයා පැවසීය.

භූගෝලීය පිහිටිමේ ආර්ථික වාසිය ලබා ගැනීමට කලාපයේ බොහෝ දෙනෙක් අපේ රට දෙස බලා සිටිති. ඔවුන්ගේ ආර්ථික ප්‍රබෝධයට විකල්ප මධ්‍යස්ථාන අවශ්‍ය අතර එම ආර්ථික ප්‍රබෝධය මතු වන්නේ මෙතෙක් පැවති ආර්ථික ක්‍රියාවලිය තුළ නොව හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර පදනම් කරගත් අවශ්‍යතා මත බව ද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් වසංගතය නිසා ලෝක ආර්ථිකයට සිදු වූ හානිය සහ ශ්‍රී ලංකාවට වූ බලපෑම පිළිබඳ මෙහිදී ජනාධිපති ලේකම්වරයා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ අතර එම තත්ත්වය යටතේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, සෙසු වියදම් කප්පාදුවකින් තොරව සිදු කිරීම සහ ජන ජීවිතය අඩපණ වීමට ඉඩ නොතබා රජය ගෙන ගිය ආර්ථික ක්‍රියාවලිය ද පැහැදිළි කරනු ලැබීය.

කොරෝනා වසංගතය සමග ලෝකයේ මෙන්ම අපේ රටේ ද සැපයුම් ක්‍රියාවලිය අඩපණ වූ බව පිළිගත යුතුය. රටේ නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට මෙන්ම බෙදාහැරීමේ ක්‍රමවේද සකස් කරගත යුතු බව පෙන්වා දුන් පී.බී. ජයසුන්දර මහතා අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කිරීමෙන් රට කඩිනමින් යථා තත්ත්වයට පත් වනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

රට සාමාන්‍යකරණය වීමත් සමග නව ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසීය. දිගින් දිගටම අය වැය පරතරය ඉහළ අගයක් ගැනීම රටකට හිතකර තත්ත්වයක් නොවන අතර මෙවර අය වැයේදී එම පරතරය අඩු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව මුදල් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

රජයට එරෙහි උද්ඝෝෂණවලට සැප්තැම්බරයේ සිට ස්ථාන

Shiran Viraj

නිවාස ව්‍යාපෘතියක අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීම්

Shiran Viraj

වේරහැර දී ගණිකා නිවසක් වටලයි

Shiran Viraj
Translate »