mediahumanrights.lk
Local NewsNews

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වූ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටවූ බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඊයේ ප්‍රකාශ කළහ.

සත්‍යග්‍රහයට එක්ව සිටි මහා සංඝරත්නය සමඟ ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් මැදිහත්ව කටයුතු කරන බවට ලත් තොරතුරු හමුවේ මෙම තීරණය ගත් බවයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතා ඇතැම් කණ්ඩායම් විසින් අවස්ථාවාදී ලෙස යොදාගනිමින් දේශීයව හා ජාත්‍යන්තරව භික්ෂු පරපුරේ ගෞරවයට හානි කිරීමට කටයුතු කරන බවට අනතුරු අඟවමින්, සංඝ ශෝභන පවත්වා ගනිමින් සාමකාමීව හා සමගියෙන් කටයුතු කරන ලෙස ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඊයේ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියහ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේලා පෙන්වා දුන්නේ, අදාළ ගැටලුව නීත්‍යානුකූලව සහ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා තමන් වහන්සේලා මේ වන විටත් මැදිහත් වී රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ආගමික හා සාමාජීය පසුබිම තුළ භික්ෂූන් වහන්සේලාට හිමි ගෞරවය රැඳී පවතින්නේ සංඝ විනය රැක ගැනීම සහ ආත්ම දමනය මත බව මහානායක හිමිවරු අවධාරණය කළහ.

සියලු නිකායන් නියෝජනය කරන මහා සංඝරත්නය අභ්‍යන්තර සමගිය හා සාමය ආරක්ෂා කර ගනිමින්, ධර්ම විනයට අනුකූලව මතභේද විසඳා ගනිමින් මහජනතාවගේ ගෞරවය හා ශ්‍රද්ධාව තවදුරටත් තහවුරු වන පරිදි කටයුතු කළ යුතු බව උන්වහන්සේලා ඉල්ලා සිටියහ.

එම ඒකාබද්ධ නිවේදනය සඳහා සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරතන හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මාකුලවේවේ ශ්‍රී විමල හිමි යන උන්වහන්සේලා අත්සන් තබා තිබිණි.

Related posts

ප්‍රථමවරට තිරසර සංවර්ධනය වෙනුවෙන් තේරුම් කාරක සභාවක් පත් කළේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

Shiran Viraj

පුද්ගලයෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කළ සැකකරුවන් 09 දෙනාට අධිකරණයෙන් දුන් තීන්දුව

Shiran Viraj

මහජනතාව වෙනුවෙන් සෑදූ ජිම් එක ඇමතිවරයෙකු වෙනුවෙන් පැයක් වසා දමයි..

Shiran Viraj
Translate »