2026-07-03
mediahumanrights.lk
NewsPolitical

තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික වර්ධනයක් කරා යනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වර්ධන වේගය පවතින සියයට 5 ක මට්ටමේ සිට ඉදිරි වසර කිහිපය තුළ සියයට 7 ත් 8 ත් දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ, විදුලි හා විද්‍යුත් ක්ෂේත්‍රයන් සුවිශේෂී දායකත්වයක් සපයනු ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ තොරතුරු තාක්ෂණ, විදුලි හා විද්‍යුත් (electronics) ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් සහ කර්මාන්තකරුවන් සමඟ ඊයේ (02) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමෙන් පමණක් රටේ අනාගතය සුරක්ෂිත කළ හැකි බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, රටේ සැබෑ ආර්ථික විභවතාවයන් මතුකර ගැනීම සඳහා රජය සමඟ හවුල්කාරීත්වයෙන් කටයුතු කරන ලෙස ව්‍යවසායකයන්ට ආරාධනා කළේය. එමෙන්ම එම ක්ෂේත්‍රයන්හි පවතින ප්‍රධාන අභියෝග සහ ඒවා සංවර්ධනය කිරීමට අදාළ යෝජනාවලි කඩිනමින් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ලබන වසරේදී ප්‍රාග්ධන වියදම් (capital expenditure) වෙනුවෙන් රජය රුපියල් ට්‍රිලියන 2 ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය. මෙම ආයෝජන හේතුවෙන් රට තුළ ඉහළ යන විදේශ විනිමය ඉල්ලුම සපුරාලීම සඳහා අපනයන ක්ෂේත්‍රයෙන් උපරිම දායකත්වයක් රජය බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම අපනයන ආදායම් උපයන්නා වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක ආදායමක් උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව මෙම සාකච්ඡාවේදී හෙළි විය. එමෙන්ම දැනට ඩොලර් මිලියන 500 ක පමණ අපනයන ආදායමක් ලබන විදුලි හා විද්‍යුත් ක්ෂේත්‍රයේ ආදායම වාර්ෂිකව ඩොලර් බිලියන 2 දක්වා ඉහළ නැංවීමේ හැකියාව පවතී.

කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර, ඉලෙක්ට්‍රොනික උපාංග ආනයනය කිරීමේදී පවතින සංකීර්ණතා, කොළඹ වරාය නගරය (Port City) තුළ ක්‍රියාත්මක සමාගම් බැංකු පද්ධතිය හරහා ගනුදෙනු කිරීමේදී මුහුණ දෙන බාධා සහ දේශීය වෙළෙඳපොළ තුළ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අපහසුතා ඒ අතර විය. මෙම බාධක ඉවත් කර අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමටත්, කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් දීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමටත් මෙහිදී අවධානය යොමු විය.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, අතථ්‍ය විශේෂ ආර්ථික කලාපයක් (Virtual Special Economic Zone) සහ දත්ත මධ්‍යස්ථානයක් (data centre) පිහිටුවීමට රජය සැලසුම් කර ඇති බවයි. පර්යේෂණ හා සංවර්ධන (R&D) කටයුතු සඳහා අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපකරණ ආනයනය කිරීමේදී රේගු බාධා ඉවත් කිරීමට ‘හරිත මාවතක්’ (Green Channel) හඳුන්වා දෙන බව ද ඔහු පැවසීය. එසේම ක්ලවුඩ් පරිගණක (cloud computing) සහ මෘදුකාංග සේවා (SaaS) වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විදේශයන් වෙත මුදල් ගෙවීමේදී පවතින බැංකු හා ක්‍රෙඩිට් කාඩ් සීමාවන්ට විසඳුම් ලබා දෙන බවත්, දක්ෂ වෘත්තිකයන් මෙරට රඳවා ගැනීම සඳහා විකල්ප සහන ක්‍රමවේදයන් සලකා බලමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රජ මාලිගාවේ දිනපතා කොරෝනා පරීක්‍ෂණ…

Shiran Viraj

ආහාර උද්දමනය 30% පනී.. ලංකාව ලෝකයේ 12 වැනියා.. ආසියාවේ 4 වැනියා..

Shiran Viraj

අඛණ්ඩව විදුලි සැපයුමට ඕනෑම මොහොතක හමුදාව සූදානම්

Shiran Viraj
Translate »