31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන්ගේ විරෝධය

රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලා සිය දැඩි අප්‍රසාදය පළ කරති. අස්ගිරි පාර්ශ්වයේ මහානායක, අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ධම්මරතන මහානායක හිමිපාණන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් කරා ගෙන යාමේ අවදානමක් පවතින බවයි. පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැක මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය පිළිබඳව දැනුවත් කළ අවස්ථාවේදී උන්වහන්සේලා මෙම අදහස් පළ කළහ.

මෙවැනි බරපතළ ප්‍රතිපත්තිමය සංශෝධන සිදු කිරීමේදී මහානායක හිමිවරුන් සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව අස්ගිරි මහානාහිමියෝ මෙහිදී සඳහන් කළහ. “මේ හදන්නේ නිරාගමික රටක් හදන්නයි. මේ රට කනවා. මේවට ඉඩ දෙන්න හොඳ නැහැ. අපි දැක්කෙත් නැහැ, අපි දන්නෙත් නැහැ,” යැයි උන්වහන්සේ දැඩිව අවධාරණය කළහ. රජය විසින් සිදු කරනු ලබන මෙම රහසිගත ක්‍රියාවලිය මෙරට සංස්කෘතික හා ආගමික වටිනාකම්වලට තර්ජනයක් බව උන්වහන්සේලාගේ අදහස වී තිබේ.

මල්වතු මහා විහාරයේදී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ ද පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් සියලුම නිකායන්හි මහානායක හිමිවරුන් වහාම දැනුවත් කළ යුතු බවයි. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව මහානායක හිමිවරුන් සිව් නමගේම අත්සනින් යුත් විශේෂ ඒකාබද්ධ නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරන බව ද උන්වහන්සේ එහිදී සඳහන් කළහ. මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය නියෝජනය කරමින් තවත් ස්වාමින් වහන්සේලා පිරිසක් ද එක්ව සිටියහ.

Related posts

ආර්ථිකය පණ ගන්වන්න විදේශ ආයෝජන, පෞද්ගලිකව හෝ රාජ්‍ය ආයෝජන අවශ්‍යයි…

Shiran Viraj

රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් ගණන 7,000 ඉක්මවයි

Shiran Viraj

බොරැල්ලේ සිට මරදාන දක්වා ගමන්ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Shiran Viraj
Translate »