mediahumanrights.lk
NewsPolitical

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික හා නිවාස ගැටලු විසඳීමට ජනවාරි මාසය තුළ වැඩපිළිවෙළක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එළවළු සහ වී නිෂ්පාදනයේ පවතින ගැටලු මෙන්ම නිවාස හා නැවත පදිංචි කිරීමේ ගැටලු විසඳීම සඳහා ජනවාරි මාසය ඇතුළත ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වෙළෙඳ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ආපදා සහන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර මෙම විසඳුම් ලබා දෙන බවයි. ආපදාවෙන් පසු ජන ජීවිතය යථාවත් කිරීම සඳහා ‘යළි ගොඩනැගීමේ’ (Rebuilding) ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ද එක් කිරීමට රජය තීරණය කර ඇත.

දිස්ත්‍රික්කයේ වගා හානි වෙනුවෙන් ගෙවිය යුතු වන්දිවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විටත් ගෙවා අවසන් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය. පූර්ණ හා අර්ධ නිවාස හානි පිළිබඳ තක්සේරු කටයුතු දැනටමත් සිදුකෙරෙන අතර, රුපියල් 25,000 සහ 15,000 වන්දි ගෙවීමේදී පැවති ගැටලු ජනවාරි 15 වැනිදා වන විට අවසන් කිරීමට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් එකඟ වී තිබේ. අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ද ඒ හා සමගාමීව කඩිනම් කෙරෙනු ඇත.

මීට අමතරව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා නොකළ භූමි වගා කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, වැඩ නිම නොකළ මධ්‍ය පරිමාණ වාරි ව්‍යාපෘති දෙකක කටයුතු අවසන් කිරීමටත් පියවර ගෙන ඇත. මෙම වාරි ව්‍යාපෘති සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය සිය ශ්‍රම දායකත්වය ලබා දීමට පොරොන්දු වී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ එම කටයුතු අවසන් කිරීමට නියමිතය. ජනතාවට යළි මෙවැනි ආපදාවලට මුහුණ දීමට සිදු නොවන ආකාරයට ස්ථිරසාර විසඳුම් සහිතව දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

SAS seasonal summer 2018 routes – 5 new destination & 27 new non-stop routes

Shiran Viraj

මෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්

Shiran Viraj

භූමදානය කළ යුතුමයි කියමින් මහනුවර කොරෝනා මළසිරුර රෝහලේ දමා ඥාතීහු පිටව යති

Shiran Viraj
Translate »