2026-02-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

ලාල්කාන්ත මහතා ICCPR පනත උල්ලංඝනය කර ඇති බවට නාමල් රාජපක්ෂ මහතාගෙන් චෝදනාවක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත උල්ලංඝනය කරමින් බුද්ධාගමට සහ මහා සංඝරත්නයට අපහාස කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා පවසයි. විශේෂයෙන්ම මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන්ට “වනචාරියා” ලෙස හඳුන්වමින් සිදුකළ අපහාසය තමා තරයේ හෙළා දකින බව ඔහු සඳහන් කළේය. මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මහා සංඝරත්නයට මෙවැනි ආකාරයෙන් අපහාස කර නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ICCPR පනතට අනුව ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීම තහනම් කර ඇති බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා, ලාල්කාන්ත මහතා මෙම ප්‍රකාශය හරහා ආගමික ද්වේෂය පතුරුවා ඇති බව අවධාරණය කළේය. නීතිය සැමට සමාන විය යුතු බවත්, සාමාන්‍ය පුරවැසියෙකු හෝ විපක්ෂයේ අයෙකු මෙවැනි වරදක් කළේ නම් මේ වන විටත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ඔහු පැවසීය. බෞද්ධ නායකයින් ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙම අපහාසයන් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව රජය ගන්නා නෛතික ක්‍රියාමාර්ග මොනවාදැයි ඔහු ප්‍රශ්න කර සිටියි.

රජයේ අමාත්‍යවරයෙකු ආගමික ද්වේෂය පැතිරවීමට කටයුතු කරද්දී ආණ්ඩුව ඒ පිළිබඳව නිහඬව සිටීම බරපතළ තත්ත්වයක් බව නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. දේශපාලනඥයන් සහ මහා සංඝරත්නය අතර විවිධ මතිමතාන්තර පැවතිය හැකි වුවද, එය ආගමික නායකයන්ට අපහාස කිරීමට අවස්ථාවක් කර නොගත යුතු බව ඔහුගේ අදහසයි. මෙම සිදුවීම හේතුවෙන් බෞද්ධ ජනතාව තුළ ඇති වී තිබෙන කැලඹීම සමනය කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සමන් පෙරේරා ඝාතනය කොඩියේ මන්ත‍්‍රී ධුරය සමග බැදුනු අවුලක්…

Shiran Viraj

ආණ්ඩුව පෙරළන්න බෑ – ගොවියෙක් රජවෙලා ඉන්නේ.

Shiran Viraj

සුබ අරංචි එකට තව තොගයක් ජනපති කියයි.. ගැස්සුනොත් පාතාලේ…

Shiran Viraj
Translate »