mediahumanrights.lk
Entertainment Entertainment News News

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ මතය ප්‍රකාශ කිරීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණි.

එම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රික් කමිටු සාමාජිකා සහ කාන්තා කටයුතු සම සම්බන්ධීකාරක නීති ශිෂ්‍ය භාග්‍යා වීරකෝන් මෙනෙවියද සහභාගි විය.

රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ට වැට බැඳීමට ආණ්ඩුව මේ මොහොතේ ක්‍රියාකරන බවත් ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කරනු ලබන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගෙ මූලිකත්වයෙන් සම්මත කර ගැනීමට කටයුතු කරන ලද සිංගප්පූරුවේ මාර්ගගත ක්‍රම සඳහා ක්‍රියාත්මක පනතට සමාන පනතක් බවද ඒ මහතා අදහස් දක්වමින් පැවසූවේය.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 51ක් සලකා බලා ලබා දුන් තීන්දුව අනුව මෙම පනතේ වගන්ති 57කින් වගන්ති 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැණි බව කරු පරනවිතාන මහතා පැවසූ අතර මෙම පනතින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වලකාලීමට ආණ්ඩුව  ක්‍රියා කරන බවත් පැවසීය.

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඇතැම් අවස්ථා වලදී දේශපාලනයේ යෙදෙනෙ පුද්ගලයින් විසින් විවිධ හිරිහැරවලට ලක් කරන බවත් දූෂිත තොරතුරුකරණයේ ගොදුරක් බවට තමන්ද  පත්ව ඇති බවත් එසේ වුවද ලොව කිසිදු රටක සාර්ථක ලෙස මේ සමාජ මාධ්‍ය නියාමනය කරගන්නා ක්‍රමවේද නොමැති බවත් කරු පරණවිතාන මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය නියාමනයට මුවා වී යුක්තිය මෙහෙයුම සිදු කරනවා සේ කුඩු මර්දනයට මුවාවී විශාල වශයෙන්ම, පලිගැනීම්, කප්පම් ගැනීම්, තෝරා ගත් මිනිස්සුන්ට දඬුවම් කිරීම් සහ තෝරු, මෝරු නිදැල්ලේ යාමට ඉඩ හරිමින් කරන්නා වූ ඒ විගඩම සේම සමාජ මාධ්‍ය නියාමනයද ඔවුන්ගේ උවමනාවට මුවා වී පිහිටුවන දැඩි මර්දනකාරී පනතක් බවත් පැරණි පනත වෙනුවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළුව නීතිඥවරුන්  සහ අදාළ පාර්ශව සමග සාකච්ඡා  සිදු කොට නව පනතක් ගෙන ඒමට ක්‍රීයාකරන ලෙසද හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරනවිතාන මහතා පැවසූවේය.

දැනට ජනවරම අහෝසී වූ පොහොට්ටුව මූලික කරගත් පාලනයක් සිදුවුවද ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සහ මහමැතිවරණයෙන් නව ජනවරමක් අනිවාර්‍ය වශයෙන් බිහිවන බවද අහෝසිවූ ජනවරමකින් ගෙන එන පනතක් වැඩි කාලයක් නොපවතින බවද පෙන්වා දුන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා එක්සත් ජනරජ පෙරමුණ සම්බන්ධ වන නව ආණ්ඩුවක් මගින් මෙම පනත  අහෝසි කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන ලදී.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ තරුණයන් ගැන, අනාගතය ගැන, තාක්ෂණය ගැන ලොකුවට කතාකොට සිදු කරනුයේ කුමක්දැයි ප්‍රශ්න කළ ඒ මහතා ටිරාන් අලස් මහතාට ගෝඨාභයට අඳින්න හදන්න එපා යනුවෙන්ද ප්‍රකාශ කළේය.

එම මාධ්‍ය හමුවේදී  ‘’මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත, එහෙමත් නැත්නම් ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්බන්ධයෙන් කතා කරද්දී මේ විසි එක්වෙනි සියවස කියලා කියන්නේ ඩිජිටල් යුගය. මේ යුගයේ දරුවෙක් ඉපදෙන්නෙත් ෆෝන් එකක් ලැප්ටොප් එකක්, ටැබ් එකක් අතේ තියාගෙන. ඒ තරමට ළමයි තාක්ෂණයට  හුරු වෙලා තියෙනවා යැයි’’එක්සත් ජනරජ පෙරමුණේ තාරුණ්‍ය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික් කමිටු සාමාජිකා සහ කාන්තා කටයුතු සම සම්බන්ධිකාරක නීති ශිෂ්‍ය භාග්‍යා වීරකෝන් මෙනෙවිය අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.

එමෙන්ම යූ ටියුබර්ස්ලා, ශෝෂල් ඉන්ටුවන්ස්ලා තමන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කිරීම සහ දේශපාලන විචාරකයන්ගේ අදහස් පළකිරීම සමාජ මාධ්‍ය හරහා සිදුකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් සිටිනුයේ පන්ති නායක පුටුවක කියා සිතා කටයුතු කරන බවත් එතුමා සිටිනුයේ විධායක බලතල ඇති පුටුවක බව එතුමාට අමතකව ඇති බවත් පැවසීය.

ඒ විධායක බලය පාවිච්චිකොට පාර්ලිමේන්තුවේ බදු පැහැර හරින අරක්කු මුදලාලිලාගෙන් බදු අය කර ගැනීමට, රටට කුඩු ගෙන්වන කුඩු මුදලාලිලාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට, විදුලි බිල් නොගෙවා බොරුවට පාර්ලිමේන්තු පැමිණ කයිවාරු ගහන, කයිවාරුකාරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ද මතක් කර දුන් භාග්‍ය වීරකෝන් මෙනෙවිය ‘අධිරාජ්‍යයක්  බිඳ  වැටීමට ආසන්න වනවිට ඒ අධිරාජ්‍ය විසින් උන්මන්තක නීති සම්පාදනය කරන බවත්’ මාධ්‍ය අමතමින් පැවසූවේය.

ප්‍රශ්නය
මේ දවස්වල එළවළු ගොඩාක් මිලයි..ඒ ගැන මොකද හිතෙන්නේ? ඔබතුමන්ලා මේ වන විට බලයේ හිටියනම් මොකක්ද කරන්නේ?

පිළිතුර
(කරු පරණවිතාන මහතා)
එළවළු මිල විතරක් නෙවෙයි අද වෙද්දී  හැම භාණ්ඩයකම මිල තිබුණට වැඩිය තුන් ගුණයකින්, හතර ගුණයකින් මිල ඉහළ ගිහිල්ලා තිබෙනවා. විශාල වශයෙන් එළවළු මිල ඉහළ ගිහිල්ලා. අනිත් බඩු භාණ්ඩ වල තත්ත්වෙත් ඒකයි. ආණ්ඩුව මාධ්‍ය නියාමනය කරන්න හදනවා. ඒත් එළවළු වෙළඳපොළක් නියාමනය කරගෙන නෑ. ඒ කියන්නේ නියාමනයේ හැමතැනටම අවශ්‍යයි. කවුරුත් නියාමනය හැම තැනටම ඕනේ කියලා කියනවා. ආණ්ඩුවට මේ පොඩි වෙළඳපොළක් නියාමනය කරගන්න බැරි වෙලා තිබෙනවා. කිසිම පාලනයක් නෑ. ඒ ගැන හොයලා බලන්න
කිසිම ඇමතිවරයෙක් එන්නෑ. වෙළඳ ඇමතිවරයෙක්, කෘෂිකර්ම ඇමති පැත්ත පළාත බලන් නෑ. ඒක ඒ වෙළෙන්දන්ට අතරමැදියන්ට ඒ කැමති කැමති කැමති අයට ඕන දෙයක් කරගන්න අරිනවා. අවසාන වශයෙන් සියලු දෙනාම බෙල්ල මිරිකන්න හදන්නේ තමන්ගෙන් බඩු ගන්න එන පාරිභෝගිකයාගෙ. මේ සහගහන බදු හැමෝටම ගහලා තියෙන නිසා හැමෝම තමන්ගේ එන පීඩනය කාගේ හරි පිටින් දාලා ගැලවෙන්න තමයි බලන්නේ. ඉතින් අවසානයේ වෙළඳපොළේදි මේක යන්නේ අහිංසක පාරිභෝගිකයාගෙන්.

ඩීසල් අඩු කරන්න පුළුවන්. අපේ පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක මැතිතුමා කියලා තියෙනවා, ඩීසල් රුපියල් 230 ට දෙන්න පුළුවන් කියලා. ආණ්ඩුව එළවලු මිල වැඩිවීම සම්බන්ධයෙන් අපිට කාලගුණ වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ කාලේ වැස්ස වැස්සට එළවළු එන්නේ නෑ. ඒ හින්දා එළවළු මිල ගිහිල්ලා තියෙනවා. පායනකොට හරියයි කියලා ලබන මාසේ පෑව්වොත් මේ කාලේ පායනවා එතකොට එළවළු හැදෙන්නේ නෑ. ඒ හින්දා මේ එළවළු මිල වැඩි වෙනවා කිය කිය අපටත් කාලගුණ වාර්තා ඉදිරිපත් කරනවා. කාලගුණ වාර්තා වැඩක් නෑ. මේ ආර්ථිකය යථාවත් කරගන්න මේ ආර්ථිකයේ බර බාරගත්ත ඇමතිවරු, ඒ බලධාරීන් මේ මිනිස්සුන්ගේ බෙල්ල හිර කරන් නැතුව මේ වෙළඳපොළ නියාමනය කරගෙන මේ වැඩේට බහින්න, ජාවාරම්කරුවන්ගේ කොටසක් බවට පත්වෙන්නේ නැතුව කියන එක යෝජනා කරනවා. එහෙම කළොත් මේ මිනිස්සුන්ගේ තියෙන අසහනය තරමක් දුරට හෝ අඩු කරන්න පුළුවන්.

ප්‍රශ්නය
ඔබ එක්සත් ජනරජ පෙරමුණේ කුරුණෑගල් දිස්ත්‍රික් කාන්තා සම්බන්ධිකාරක ව්දියට වැඩ කරන නිසා කාන්තාවෝ එක්ක වැඩ කරද්දී පවතින එළවළු මිල ගැන ඒගොල්ලෝ දක්වන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද.?

පිළිතුර
( භාග්‍යා වීරකෝන් )
මමත් කඩේට ගිහිල්ලා එළවළු අරගෙන ගෙදර ඇවිල්ලා උයාගෙන කන කෙනෙක් විදිහට මටත් කියන්න තියෙන්නේ අද වෙද්දි මීට කලින් වේල් තුනක් කාපු ගෙදරක දැන් කන්නේ එක වේලයි. එක්කෝ ළමයි දෙන්නට, තුන්දෙනාට හරි ගෙදර ඉන්න ළමයි ටිකට කන්න දීලා, අම්මයි, තාත්තයි, තමන් කන කෑම වේල අඩු කරලා තියෙනවා.

මේ වෙද්දි ලංකාවේ උපත් අනුපාතය අඩු වෙලා තියෙනවා කියලා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියලා තියෙනවා කියලා ප්‍රවෘත්තියක් පලවෙලා තියෙනවා මම දැක්කා. ඒකට හේතුව තමයි විවාහක යුවලවල් විවාහ වෙද්දී හිතනවා මේ වගේ ආර්ථික තත්වයක් තුළ අපි කොහොමද දරුවෙක්  බිහි කරලා මේ දරුවව බලාගන්නෙ මේ දරුවට කන්න බොන්න දෙන්නේ කියලා.

අද ළමා මන්දපෝෂණය වැඩිවෙලා තියෙනවා. ළමා විතරක් නෙමෙයි මේ වැඩිහිටි අපිටත් කෑම බීම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. ගුණදායක කෑම ලැබුණේ නැති වුණාම මිනිස්සු ලෙඩ වෙනවා.

මේ රටේ මැති ඇමතිවරුන්ට කන්න බොන්න දේවල් තිබුනට ගමට ගිහිල්ලා බලන්න ගම්වල මිනිස්සුන්ට කන්න නැහැ. හැබැයි අපිට නම් පේන්නේ නැහැ මේ සම්බන්ධයෙන් කවුරුත් කතා කරනවා කියලා. ඒක තමයි කණගාටුවට තියෙන කාරණාව.

– ලෙෂාන් විදානගමාච්චි

Related posts

ස්ටාලින් රිමාන්ඩ්…

Shiran Viraj

පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර කිහිපයක් කුණු කූඩයට…

Shiran Viraj

මෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්

Shiran Viraj