28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

LTTE යුද්ධය හා JVP භීෂණයෙන් රටට ඩොලර් බිලියන 200ක් අහිමියි..

ආර්ථික අර්බුධය පිළිබද වගකිවයුත්තන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයට විපක්ෂය වැරදි අර්ථකථන ලබා දෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ආර්ථිකය කඩා වැටීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගකිවයුතු යැයි නම් කර ඇති කණ්ඩායම පමණක් හේතු වූ බව කිසිවෙකුටත් කිව නොහැකි බව පෙන්වා දෙන අමාත්‍යවරයා අධිකරණය මෙම තීන්දුවට එළඹ ඇත්තේ ඉදිරිපත් වූ කරුණු මත පදනම්ව බවද අවධාරණය කරයි.

මේ නිසා මෙම ආර්ථික අර්බුධයට හේතුව නිවැරදිව සොයා බැලිය හැක්කේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් පමණක් බව පවසන ඇමතිවරයා නව තේරීම් කාරක සභාවක් මේ සදහා පත් කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දෙයි.

ඇමතිවරයා මේ බව සදහන් කලේ අයවැය දෙවනවර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි

එහිදී ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“මේ අයවැය මම දකින්නේ ආර්ථික අර්බුදයෙන් පීඩා විදි අසරණ ජනතාව එම පීඩනයෙන් මුදවා ගැනීමට ඉදිරිපත් කළ අයවැයක් ලෙසයි. විපක්ෂයේ සමහරු උත්සහ කරනවා මෙම අර්බුදය අද ඊයේ සිද්ධ වුණා කියලා කියන්න. මේක රාජපක්ෂවරු යටතේ පොහොට්ටුව යටතේ සිද්ධ වුණා කියලා කියන්නත් ඒ අය උත්සහ කරනවා. විපක්ෂය උත්සහ කරන්නේ මෙම අයවැයෙන් තම දේශපාලන වාසි ලබා ගන්නයි. ඔවුන් ඒ සදහාම පසුගිය දිනක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් නඩු තීන්දුව ගැනත් කියනවා. එම නඩු තීන්දුව වැරදි විදිහට අර්ථකතනය කරන්න ඔවුන් කටයුතු කරනවා. නඩු තීන්දු පිළිබදව අපි අධිකරණයට ගරු කරනවා. ඒ ගැන අපි කතා කරන්නේ නැහැ. මෙම නඩු තීන්දුව හරහා කාටවත් කියන්න බැහැ ආර්ථිකය කඩා වැටෙන්න මේ කණ්ඩායම හේතු වුණා කියලා කියන්න. ඒ නිසයි අපි ඉල්ලීමක් කරේ තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා මේ ආර්ථික අර්බුදය ඇති වුණු ආකාරය ගැන හොයන්න.

උසාවියට ඉදිරිපත් වුනු කරුණු වලට අදාළව තීන්දුව දුන්නා මිසක් ඊට පරිබාහිර කරුණු අරගෙන උසාවියට තීන්දුවක් දෙන්න බැහැ. නමුත් තේරීම් කාරක සභාවකට පසුගිය වසර 75ක කාලය තුළ සිදු වුණු ආණ්ඩුවලින් හෝ නිළධාරීන්ගේ වැරදි ප්‍රතිපත්ති තීන්දු මත ආර්ථිකය කඩන් වැටුනා කියලා බලන්න පුළුවන්. පසුගිය කාලයේ වසර 30 ක් පුරා විශාල මුදලක් යුද්ධයට වියදම් වුණා. 2018 ඉදිරපත් කළ අයවැය වාර්තාවෙන් යුද්ධයට ගිය වියදම ඩොලර් බිලියන 400 ක් කියලා තියෙනවා. ඒ අයවැය යහපාලන ආණ්ඩුවේ අයවැයක්. එදා තමයි මේක කිවුවේ. මේ වියදම නඩුවට ඇතුළත් කරලා තිබුනද? නැහැ. ඒ නිසා ඒ ගැන තීන්දුවක් ගන්න අධිකරණයට බැහැ.

LTTE යුද්ධය සහ JVP භීෂණය නිසා අපේ රටේ අහිමි වු ආර්ථික වටිනාකම ඩොලර් බිලියන 200 ක් කියලා ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු ඇමති ශිවශංකර් වෙනන් මහතා සදහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 200 ක ආයෝජන අවස්ථා අපිට අහිමි වෙලා තියෙනවා. එතකොට ඩොලර් බිලියන 600 ක් අපිට අහිමි වෙලා තියෙනවා. මේක උසාවි තීන්දුවට අරන් තියෙනවාද? නැහැ. උසාවි තීන්දුව වැරදි ලෙස අර්ථකථනය කරනවට වඩා සද්භාවයෙන්ම ආර්ථිකය කඩන් වැටෙන්න හේතු මොනවද කියලා බලන්න නම් තේරීම් කාරක සභාවක් පත්කරලා ඒ හරහා එය සිදු කරනවා නම් හොදයි. දැනටමත් එකක් පත් කරලා තියෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා මේ අසීරු අවස්ථාවේදී සියලු දේශපාලන පක්ෂ නායකයින්ට එකතු වෙන්න කියලා ආරාධනා කළා. නමුත් ඒ වගකීම භාර ගන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. අරගලයෙන් පස්සේ දේශපාලඥයින්ට අභියෝගයක් තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලය ඉවත් වුණා. රට භාර අරගෙන කරන්න කියලා නමුත් රට භාර ගන්න ඒවෙලේ කවුරුත් හිටියේ නැහැ. අද නින්දෙන් නැගිටලා වගේ සුන්දර කතා කියනවා. රට ගිනි ගොඩක් මැද තිබුනේ කියලා හැමෝටම අමතක වෙලා අද.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා එම භාරදූර වගකීම භාරගත්තා. ඒ සදහා ඉදිරිපත් වුණා. ඒ නිසා තමයි අපිට අද මෙහෙම හරි කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතුමා පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. ජාතික ලැයිස්තුවෙන් ආවේ. මේ වගේ විවේචන කරන්න හොද නැහැ. 69 ලක්ෂයක් ඡන්දය දීලා පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරය තිබිලත් අපිට ඒක කරගන්න බැරි වුණා. අපි ඒක පිළිගන්නවා. අවාසනාවකට එවැනි සිදුවීම්වලට මුහුණ දෙන්න සිදු වුණා. එවැනි අවස්ථාවක මේක භාර ගද්දි අපි රනිල් මහත්තයට උදව් කරේ රට දේශපාලනයට වඩා ඉදිරියෙන් තියලයි. අපි විපක්ෂයේ ඉද්දි එතුමාව විවේචනය කළා. විපක්ෂ නායකතුමා ඇතුළු මේ මන්ත්‍රීවරු හැමෝම හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක. අපිට වඩා වගකීමක් තියෙන්නේ විපක්ෂයට.

අරගලය වෙලාවේ සමහර දේශපාලන පක්ෂ මේ පාර්ලිමේන්තුව ගිනි තියන්න හැදුවා. එදා ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, අගමැති කාර්යාලයට මොකද වුනේ? ජනාධිපති මන්දිරේ ෆුල් එකට බැහැලා සබන් ගාලා නාලා ලෝකයටම පෙන්නුවා තමන්ගේ රටේ තත්වය ගැන. එහෙම කරේ අර පීඩාවට පත් වුණු අසරණ මිනිස්සු නෙමෙයි. අරගලකරුවන් කරේ සාමකාමී අරගලයක්. මන්දිරයේ තිබුනු දේවල් හොරකම් කරගෙන ගියා. ඒවා කරේ පාතාලේ අය, කුඩුකාරයෝ, ගණිකාවෝ ටිකක් එකතු වෙලා. ඒවට නායකත්වය දුන්නේ පාර්ලිමේන්තුව ගිනි තියන්න හදපු මිනිස්සු. පැසිස්ට්වාදීන් ආරක්ෂා කළ කොටසකුත් මෙම පාර්ලිමේන්තුවේ හිටියා. රනිල් වික්‍රමසිංහ මහත්තයා භාර ගත්තේ එවැනි රටක්. 2023 වසර සදහා අයවැය ඉදිරිපත් කලේ ඉතාම අමාරුවෙන්. ඒ වෙද්දි රට බංකොලොත් කියලා ඉවරයි. ඒ අයවැයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. එතුමා මුහුණ දුන්නේ කවුරුවත් මුහුණ නොදීපු ආර්ථිකයකටයි. අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, මහිනද් රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග  මේ ජනාධිපතිවරු රට පාලනය කරද්දි යුද්ධය තිබුණා. නමුත් රටේ ආර්ථිකය අයහපත් වුනේ නැහැ. මෛත්‍රීපාල මහත්තයටත් එහෙම ප්‍රශ්නයක් තිබුනේ නැහැ. රනිල් ජනාධිපතිතුමා රට භාර ගද්දි රටත් ආර්ථිකයත් බංකොලොත් වෙලා තිබුනේ. රටේ භීෂණය වැඩි වෙලා මිනිස්සු මිනී මරන තත්වයක තිබුනේ. එහෙම රටක් තමයි භාර ගත්තේ.

88-89 කාලයේ තිබුණු තත්වය අලුත් පරපුර දන්නේ නැහැ. විපක්ෂ නායකතුමාගේ පියා රට පාලනය කරද්දි දේශපාලන රැස්වීමක් තියන්න දුන්නේ නැහැ. කඩ වැහුවේ තුන්ඩු කෑල්ලෙන්. අද මේවා මතක නැහැ. ඔවුන්ට සුදනො වෙන්න බැහැ. එහෙම කාලයක් ඉතිහාසයේ තිබුනේ. අද විපක්ෂය අහනවා 2023 කියපුවා අද කොච්චර කරලා තියෙනවද කියලා. සමීක්ෂණ වාර්තා අනුව කියන්න පුළුවන් මේක වෙලා මේක වෙලා නැහැ කියලා. නමුත් ඔය සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන් අය රට වැටුණම රට ගොඩගන්න මොනවද කලේ කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. ඒ අයට මේ කතා කියන්න හරි රටක් ඉතුරු වුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රට භාර ගත්ත නිසා.

පාර්ලිමේන්තුවේ 225 න් ජාතික ලැයිස්තුව හැරෙන්න අනිත් හැමෝම  මහජන ඡන්දයෙන් පත් වෙන්නේ. ඔවුන් තමන්ගේ ජන කොට්ටාශය නියෝජනය කරනවා. 225 ම උගතුන් වියතුන කියලා එන්න ඕනි නැහැ. ඒ කොට්ටාශවල තිබෙන ගැටළු ගැන කතා කරන්න තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ. රට බංකොලොත් කලා කියලා චෝදනා කරනවා. ඔබ දන්නවා අපේ අමාත්‍යංශවල අපේ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවල රාජ්‍ය නිළධාරීන් ඉන්නවා. නමුත් රාජ්‍ය ආයතන කීයක් පාඩු ලබන තත්වයට පත් වෙලාද? එහෙම වුනේ ඇයි? ඒ නිළධාරීන් මොනවද කලේ? අපි ප්‍රතිපත්ති හදනකොට ඒ නිළධාරීන්ගේ උපදෙස් අපිට ලැබෙනවා. මම මුලින් කිවුවා වාගේ ඇතැම් ආණ්ඩු නිළධාරීන් ගත්ත වැරදි ප්‍රතිපත්ති මේකට හේතු වෙන්න ඇති. නමුත් තවත් හේතු තියෙනවා. යුද්ධය, කැරලිකාරි තත්වය, ස්වභාවික විපත් මේ හැමදේම ආර්ථික අර්බුදයට හේතු වුණා.

රට තියෙන්නේ කණු 3ක් උඩ. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය. රට වට්ටන්න නම් මේ 3ම විනාශ කරන්න ඕනි. ඒ සදහා ඇතැම් සංවිධාන වලට මුදල් ලැබුනා. මේක එකපාර වුණු දෙයක් නෙමෙයි. ඒක වුනේ සැලසුම් ගතවයි. බුදුදහම ගැන විශ්වාසය නැති කරන දේවල් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළා. සංස්කෘතිය විනාශ කරලා දැම්මා මුලින්ම. ඊට පස්සේ විධායකය ගැන විශ්වාසය නැති කලා. ගෝඨාභය මහත්තයා ගෙදර යවන තැනට පත්කළා. පාර්ලිමේන්තුවේ 225 ම එපා කියලා ඇතැම් පක්ෂ කියනවා. එහෙම කියන පක්ෂවල 3 ක් මේ පාර්ලිමේන්තුවේත් ඉන්නවා. ඒ වගේම අධිකරණයටත් මේ කාලෙදී ගහනවා. ආගමටයි සංස්කෘතියටයි ගැහුවට පස්සේ රටක් නැති වෙනවා. මේවා පිටුපස කවුද ඉන්නේ. ඒවා ගැන කලාපනාකරන්න හිතන්න ඕන. අපි දන්නවා ග්‍රීසිය පෘතුගාලය ආර්ජන්ටිනාව වැනි රටවල් මේ වගේ ආර්ථික අර්බුද වලට මුහුණ දුන්නා. මම අහගෙන විපක්ෂය කිව්වා කන්නවත් තිබුණේ නැහැ පෙලක් රටවලට. හැබැයි අපේ රටේ මිනිස්සු කොහොමහරි කළමනාකරණයක් කලා. ඒ වගේම මේක ජනාධිපතිතුමා තනිවම කරපු දෙයක් නෙවෙයි. මේ කැප කිරීම කළේ මේ රටේ මහජනතාව. මහජනතාව විශාල කැපකිරීමක් පසුගිය කාලයේ කලා. අරගල තියලා ගිනිතියන්න ගිය කාලකන්නි ගැන නෙවෙයි මම කතා කරන්නේ.

2023 අයවැය ඉදිරිපක් කරද්දී රනිල්ට මේක කරන්න බැහැ කියලා තමයි විපක්ෂය කිව්වේ. මම කිව්වා වගේ කපුටාගේ කූඩුවේ කොවුලා බිත්තර දානව වගේ මේ වගේ කතා කිව්වේ. හැබැයි මේ වන විට 70% තිබ්බ උද්ධමනය 1.3% දක්වා අඩු කරගෙන තියෙනවා. බින්දුවට වැටිලා තිබුණු ඩොලර් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 3530 දක්වා වැඩිකරගෙන තියෙනවා. 2023 පළමු මාස නවය තුළ බිලියන 123.8 සැලකිවයුතු ප්‍රාතමික අතිරික්තයක් ලගා කරගන්න පුළුවන්කම ලැබුණා. 30% දක්වා ඉහළ නැගලා තිබුණු පොලී අනුපාතය දැන් 15% ක් පමණ දක්වා පහල වැටිලා තියෙනවා. විදුලිබලය අඛණ්ඩව ලැබෙනවා. ගෑස් තියෙනවා. අඛණ්ඩව ඉන්ධන ලැබෙනවා. පොහොර ප්‍රශ්නය දැන් නැහැ. ඒ නිසා 2023 වැනි කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනය කරා යා හැකි යැයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දේනවා. මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් වැඩි කළා. විවේචන තියෙන්න පුළුවන්. විශ්‍රාම වැටුප් දීමනාව 2500 කින් වැඩි කළා. ආබාධ පුද්ගලයින්ගේ වකුගඩු රෝගී දීමනාව 7500 කින් වැඩි කරලා තියෙනවා. වැඩිහිටි පුරවැසියන් සදහා ලබාදෙන මාසික දිමනාව 3000 දක්වා වැඩි කරලා තියෙනවා. අස්වැසුම වැඩසටහන සදහා මේ දක්වා වෙන්කර තිබුණේ බිලියන 60 යි වෙන්කරලා තිබ්බේ. එය බිලියන 183 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේ ගොඩාක් කාරණා මේකෙ තියෙනවා ධනාත්මක දේවල්. මේ යෝජනා ක්‍රියාත්මක කරන්න තමයි අපි සැලසුම් කරන්නෙ.

මගේ අමාත්‍යාංශය ගැන නොයෙක් දේවල් පහුගිය දවස්වල කතා කළා. ඒවාට අපේ විෂයේදී උත්තර දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද ගියපාර ප්‍රකාශකළා වගේම තට්ටු නිවාස වැඩපිළිවෙල පහුගිය අවුරුද්ද තුළම අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. එකේදී තියෙන නීත්‍යානුකූල ගැටළු විසදන්න ඕන. රණසිංහ ප්‍රේමදාස මහත්තයා දීපු ඉඩම් අදටත් තවම පැවරිලා නැහැ. ඒ පැවරිච්ච නැති ඉඩම් වල ඔප්පුටික දීගන්න බැහැ. මේ නිවාස සංකීර්ණවල තියෙන ඉඩම් පැවරිලා නැහැ. ඒවට නෛතික පසුබිමක් ඇති කරලා තමයි මේව කරන්න පුළුවන් වෙන්නේ. පසුගිය අවුරුද්දේ අපි හරියට කරපු නිසා තමයි ජනාධිපතිතුමා බය නැතුව කිවුවේ මේ අවුරුද්දේ අපි කරනවා කියලා. ගෙවල් 50,000 ක් තියෙනවද කියලා ඇහුවම මම කිව්වා ඊට වැඩිය තියෙනවා කියලා. හැබැයි ක්‍රමානුකූලව අපි හැමෝගෙම බලාපොරොත්තු ඉටු කරන්න නම් මේ අණ පනත් වෙනස් කරලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා වැඩ කරන්න ඕන.

මේ රටේ සෑම ජනාධිපතිකෙනෙක්ම බලයට ගෙන්න ජනතා විමුක්ති පෙරමුණ උදවු කලා. චන්ද්‍රිකා මැතිණිය බලයට ගේන්න ඒ අය වැඩ කළා විතරක් නෙවෙයි ඇමතිකම් 3 ක් හා රාජ්‍ය ඇමතිකම් 3 ගත්තා. එගොල්ලෝ චන්ද්‍රිකා මැතිණියගේ අණ්ඩුවේ කොටස් කාරයෝ හැටියට හිටියා. එහෙම නම් කොහොමද අවුරුදු 75 ක ඉතිහාසයේ එගොල්ලෝ කොටස් කාරයෝ නෙවෙයි කියලා කියන්නෙ. ඒ වගේම එතුමන්ලා වැව් හදන්න දුන්නා. එතුමන්ලා වැව් හදන්න දුන්නේ සමිති ගහලා ඒගොල්ලන්ගේ පාක්ෂිකයෝ දාගෙන. වැව් හෑරුවා. හැරුවා නෙවේ හෑවා. ඉතිහාසයේ මේ දේවල් වෙලා තියෙනවා.

චන්ද්‍රිකා මැතිණියගෙන් පස්සේ මහින්ද මහත්තයව ගෙනාවා. මහින්ද මහත්තයට විතරයි මේ රට ගොඩගන්න පුළුවන් කිව්වා. මේව අමතක කරන්න බැහැ. මිනිස්සුන්ට බොරුව පෙන්නලා බොරු ආටෝප පෙන්නලා අපි කොතන වත් හිටියේ නැහැ කියන්න බැහැ. එතුමන්ලා කතා කරපු දේවල් මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වෙලා තියෙනවා. ඒ වගේම යහපාලන ආණ්ඩුවේ සිරිසේන මැතිතුමට උදව් කරන්න කටයුතු කරපු විදිහ මුළු රටම දන්නවා. ඒ අය ඒකට පෙනී සිටියා ඒක වැරැද්දක් නෙවේ. තමන්ගේ දේශපාලන මතවාදය අනුව එහෙම කටයුතු කරන්න පුළුවන්. හැබැයි අරලියගහ මන්දිරයට ඉස්සරහ දොරෙන් යන්නේ නැතුව පස්සේ දොරෙන් ගිහිල්ලා ආණ්ඩුව ගෙනල්ලා දැන් කියනවා අපි එතන හිටියේ නැහැ කියලා. අරලියගහ මන්දිරයේ හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමත් එක්ක තමයි මෙතුමන්ලා වැඩ කළේ. මේ විපක්ෂයම දන්නවා ඒක. දූෂණ විරෝධි කමිටුවේ තනතුරු තානාන්තර අරගෙන රාජපක්ෂවරු හිරේ දාලා දැන් කියනවා ආපහු බලයට අවොත් දූෂණය කරපු අය හිරේ දානවා කියලා. හොදයි කරපු අය හිරේ දාන්න ඕන. හැබැයි ඒව කරන්නත් ආණ්ඩුවක් එන්න ඕනනෙ. එගොල්ලොත් මේ පාලන තන්ත්‍රයට සම්බන්ධවෙලා මේකේ කොටස් කාරයෝ වෙලා මිනිස්සුන්ට ඇත්ත කියලා බලය ගන්නවා නම් ඒක වෙනම දෙයක්.

අප මේ වෙලාවෙදී රට පලමුවට තියලා දේශපාලනය දෙවන තැනට අරගෙන අපි ඔක්කොම එකතු වෙලා මේ පවතින ආර්ථික අර්බුදයෙන් මේ ඉදිරි මාස කිහිපය තුළ අපි සියලු දෙනාම එක්වෙලා කටයුතු කරමු කියන ආරාධනාව කරනවා.”  යනුවෙන්ද පැවසීය.

– ප්‍රදීප් අනුර කුමාර

Related posts

සැකකරු කට උත්තර දෙන ගමන් පොලිස් නිලධාරියාගේ මූණ හපා කයි.. රෝහලේ..

Shiran Viraj

ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි..අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි..

Shiran Viraj

ලංකාවේ ළමයින් 50%ක් බඩගින්නේ…- UNICEF

Shiran Viraj