28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

‘ගෝඨාභයට දිනන්න රට අනාරක්‍ෂිත කල යුතුයි..’- Channel4 හෙලිදරවුව මෙන්න…

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව අද (05) විකාශය කිරීමට නියමිත මෙරට පාස්කු ප්‍රහාරය පිළිබඳ මතභේදාත්මක වාර්තාමය වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් කර තිබුණි.

එම වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට  කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍යයේ ද ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබුණේ, මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි සුරේෂ් සලේ මහතා සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර 2018 වසරේ හමුවක් පැවති බව කියන ප්‍රවෘත්තියක් ඇසුරින් මෙම වීඩියෝව සකසා ඇති බවය.

ඊට අනුව මූලාශ්‍රය ලෙස පදනම් කරගෙන ඇත්තේ පිල්ලෙයාන් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා නමැත්තා විසින් කරන ලද ප්‍රකාශකි.

අද නිකුත් කළ පූර්ව ප්‍රචාරක පටයට අනුව එවක හමුදා බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් අන්තවාදී සංවිධානයේ සාමාජිකයකු අතර හමුවක් දුරස්ථ ගොවිපලක සංවිධානය කළේ තමන් බව අසාද් මවුලානා ප්‍රකාශ කර තිබේ.

එහිදී අසාද් මවුලාන ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අදාළ හමුව සංවිධානය කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවය.

ඊට පෙර සයිනී මවුලවී නමැත්තා හමුවන ලෙස උපදෙස් දුන් බවත් අසාද් මවුලානා ප්‍රකාශ කර තිබේ.

පසුව ඔහු පාස්කු ප්‍රහාරයේ මූලිකයා වූ සහරාන්ගේ සොහොයුරා බව දැනගත් බවද අසාද් මවුලානා එහිදී ප්‍රකාශ කරයි.

රැස්වීම අවසානයේ තමා වෙත පැමිණි සුරේෂ් සලේ මහතා රාජපක්ෂවරුන්ට රට තුළ අනාරක්ෂිත බවක් ඇතිකිරීමට අවශ්‍ය බවත්, ගෝඨාභය රාජපක්ෂට බලයට පැමිණිය හැකි එකම මඟ එය බවත් පැවසීයැයි අසාද් මවුලානා සඳහන් කර තිබේ.

කෙසේවෙතත් චැනල් 4 නාළිකාව පවසන්නේ මේ සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ හෝ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ප්‍රතිචාර නොදැක්වු අතර සුරේෂ් සලේ මහතා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ බවය.

සහරාන් ඇතුළු පිරිස හමුවී යැයි කියන කාලවකවානුවේ තමා මැලේසියාවේ සිටි අතර පාස්කු ප්‍රහාරය සිදුවන විට ඉන්දියාවේ රැඳී සිටි බව සලේ මහතා පැවසූ බවද චැනල් 4 නාළිකාව පවසයි.

– Adaderana

Related posts

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි

Shiran Viraj

අපරීක්ෂාකාරී ළමා මරණ සඳහා අලාභ අයකර ගන්න නීති හදන්න පියවර

Shiran Viraj

ජොන්ස්ටන් ඇප මත නිදහස්…

Shiran Viraj
Translate »