28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

ෂාෆ්ටර් නිවසට රස පරීක්‍ෂකයන්… ප‍්‍රබල සාක්‍ෂි රැසක්…

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන වැඩිදුර විමර්ශන සඳහා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ බිරිඳගෙන් සහ සොහොයුරියගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ෂාෆ්ටර්ගේ කොළඹ – 7 මල්පාරේ පිහිටි නිවසට ගොස් බිරිඳගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වේ.

ෂාෆ්ටර්ගේ සොහොයුරියගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා බව සඳහන්ය.

මේ අතර, අද රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අද දිනේෂ් ෂාෆ්ටර්ගේ කොළඹ – 7 මල්පාරේ පිහිටි නිවසට පැමිණියා. ඒ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළවයි.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් අත්පා බැඳ ගෙළ ප්ලාස්ටික් පටියකින් ගැටගසා අසාධ්‍ය තත්ත්වයේ සිටියදී සොයා ගෙන රෝහල් ගත කිරීමෙන් අනතුරුව, පසුගිය 15 වනදා ජිවිතක්ෂයට පත්වුණි.

පස්වරු 2 ට පමණ මල්පාරේ නිවසින් පිටවූ දිනේෂ් ෂාෆ්ටර් සිය බිරිඳට පවසා තිබුණේ තමන් පැය භාගයකින් පමණ යළි නිවසට පැමිණෙන බවටයි.

එහෙත්, ඔහු ප්‍රමාද වූ බැවින් බිරිඳ විසින් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් යොමුකර ඇති අතර ඊට ප්‍රතිචාර නොදැක්වූ අවස්ථාවේ ඇය ජංගම දුරකථන යෙදවුමක් හරහා ඔහු සිටි ස්ථානය නිරීක්ෂණය කළ බව බිරිඳ පොලීසියට සඳහන් කර තිබුණි.

ඒ අනුව බොරැල්ල සුසාන භූමියේ සිය සැමියා සිටින බව ෂාෆ්ටර්ගේ සමීපතම විධායක නිලධාරියා වූ ක්‍රිෂ් පෙරේරාට ඇය පවසා ඇත්තේ ඔහු පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලමිනි.

ක්‍රිෂ් පෙරේරා යනු දිනේෂ් ෂාෆ්ටර්ගේ ව්‍යාපාරික රහස් සියල්ල දන්නා වසර 10ක තරම් දීර්ඝ හිතවත්කමක් ඇති අතිශය විශ්වාසවන්තයෙකු බවට පැවසෙයි.

ක්‍රිෂ් පෙරේරා පොලීසියට පවසා තිබුණේ තමන්ට ෂාෆ්ටර්ගේ බිරිඳ වන ටානි ෂාමින්ගේ දුරකථන ඇමතුම ලැබෙන විට ඔහු සිය දරු දෙදෙනා පාසලේ සිට වත්තල – හැඳල ප්‍රදේශයේ නිවසට රැගෙන යාමට සූදානමින් සිටින බවටයි.

කෙසේ වෙතත් ඔහු දරු දෙදෙනා ආරක්ෂිතව නිවසට රැගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා ඔහුගේ රියදුරෙකු සහ වෙනත් මෝටර් රථයකින් ෂාෆ්ටර් සෙවීම සඳහා බොරැල්ල සුසාන භූමියට පැමිණි බව ක්‍රිෂ් පෙරේරා පොලීසිය සඳහන් කර තිබුණි.

එවන් හදිසි තත්ත්වයක් යටතේ ෂාෆ්ටර් සෙවීමට ක්‍රිෂ් පෙරේරා බොරැල්ල සුසාන භූමියට පැමිණිය ද ඔහු පැමිණි රථය සහ රියදුරු සුසාන භූමිය තුලට කැඳවාගෙන නොගොස් තනිව ගොස් ඇති බව දැනට සිදුකර ඇති විමර්ශනවල දී අනාවරණ වී ඇත.

සුසාන භූමිය අසල ඇති මාර්ගයක මෝටර් රථය නවතන ලෙස රියදුරුට දන්වා ක්‍රිෂ් පෙරේරා තනිව ෂාෆ්ටර් සෙවීමට සුසාන භූමියට ඇතුළු වී ඇත්තේ ෂාෆ්ටර්ගේ මෝටර් රථය සුසාන භූමියට ඇතුළු කළ ගේට්ටුවෙන්ම බව සඳහන්ය.

එලෙස, සුසාන භූමියට ඇතුළු වූ ක්‍රිෂ් පෙරේරා ගුවන් හමුදා ස්මාරකය අසල නවතා තිබූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය සොයා ගත් බවයි පොලීසියට සඳහන් කර තිබුණි.

එහිදී ෂාෆ්ටර්ගේ ගෙල රියදුරු අසුනට තබා ගැට ගසා තිබූ බවත් අත්පා බැඳ දමා ඇති බවත් පවසන ක්‍රිෂ් පෙරේරා තමා සමග පැමිණි රියදුරාට කැඳවීමක් නොකර උදව් ඉල්ලා ඇත්තේ සුසාන භූමියේ ඈතින් සිටි නිලාම් නම් කම්කරුවාගෙනි.

ඔහුගේ සහාය ද ඇතිව ෂාෆ්ටර් රියදුරු අසුනට යාබද අසුනට දමා ගන්නා ක්‍රිෂ් පෙරේරා එම කම්කරුවා ද සමග ජාතික රෝහලට පැමිණ තිබෙන්නේ පස්වරු 3 ත් 3 යි 15 ත් අතර කාලයේදීයි.

ෂාෆ්ටර්ගේ මෝටර් රථය සුසාන භූමියේ නතර කර තිබෙන අවස්ථාවේ යම් පුද්ගලයෙකු එම රථය අසලින් වේගයෙන් ගමන් කළ අයුරු තමන් යන්තමින් දුටු බව ෂාෆ්ටර් රෝහල් ගත කිරීමට සහාය ලබාදුන් කම්කරුවා පොලීසියට ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව ක්‍රිෂ් පෙරේරා විසින් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ ඡායාරූපයක් දුරකථනයෙන් නිලාම් නමැති කම්කරුට පෙන්වමින් මොහු නේද ගිය කෙනා ලෙස යම් හඳුන්වාදීමකට දැඩි උත්සාහයක නිරත වූ බවට ද විමර්ශන නිලධාරින්ට තොරතුරු ලැබී තිබේ.

රුපියල් කෝටි 143 ක ණය මුදලක් සම්බන්ධයෙන් බ්‍රයන් තෝමස් හා ෂාෆ්ටර් අතර විරසකයක් පවතින අතර එම ආරවුල මෙම ඝාතනය හා සම්බන්ධ කිරීමට උත්සාහ දැරීමක් කර ඇද්ද යන්න විමර්ශන නිලධාරින්ගේ දැඩි අවධානයට ලක්ව ඇති කරුණක්.

ෂාෆ්ටර්ගේ සමීපතමයන්ගේ ද දුරකථන දත්ත වාර්තා නිරීක්ෂණය කරමින් මෙම ඝාතනය කවුරුන් විසින් සිදුකලේ ද යන්න පිළිබඳව ප්‍රබල සාක්ෂි රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් මේ වනවිට එක්රැස් කරමින් පවතියි.

– හිරැ

Related posts

ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නැතිව වසා දමයි.. තැන්පතුකරුවන්ට දෙන්න මුදල් නෑ..

Shiran Viraj

සතියෙන් සුදු වෙලා මාස හයෙන් මැරෙන සුදු වෙන ක්‍රීම් දැන් වෙළඳපොලේ.. නම් ලයිස්තුව මෙන්න…

Shiran Viraj

පරීක්ෂණ වැඩි කිරීම සඳහා සැපයුම් අඩුපාඩු බාධාවක් නම් වහාම සොයා බලා අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට කටයුතු කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Shiran Viraj