28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

අටුළුගම දැරිය ඝාතනය කල ඝාතකයාගේ පාපොච්චාරණය මෙන්න…

බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ පදිංචිව සිටියදී අබිරහස් ලෙස අතුරුදන්ව සිටි ෆාතිමා අයිෂා අක්‍රම් දැරිය ඝාතනය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම්වලට අද (මැයි 30) හැකි විය.

ඔහු කුලී වැඩ කරමින් ප්‍රදේශයේ ජීවත් වන අයෙකු බව පොලිසිය කියයි.

මොහොමඩ් ෆාරුක් නමැති 29 හැවිරිදි මෙම සැකකරු තිදරු පියෙකු වන අතර පොලිසිය පවසන්නේ, ඔහුගේ බිරිය මේ වන විට ත් ගර්භණී තත්ත්වයේ සිටින බවකි.

සැකකරු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව ද පොලිසිය සඳහන් කරයි.

8, 5 සහ 3 හැවිරිදි දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ඔහු 9 හැවිරිදි ෆාතිමා දැරිය පැහැරගෙන ගොස් ඇත්තේ, අසල පිහිටි වෙළෙඳ සලකින් ඇය කුකුළු මස් මිල දී ගෙන නැවත සිය නිවසට රැගෙන එන අතරතුරදී බව පොලිසිය සඳහන් කළේ ය.

සැකකාර ෆාරුක්, ෆාතිමා දැරියට ඥාති සම්බන්ධකම් ඇත්තෙකු බව ද සඳහන් කරන විමර්ශන නිලධාරීන් මිය ගිය දැරියගේ මවගේ නැගණිය සමග විවාහ වී සිටින්නේ සැකකරුගේ මාමා කෙනෙකු බව ද සඳහන් කරයි.

කුකුළු මස් රැගෙන සිය නිවස බලා එමින් සිටි 9 හැවිරිදි ෆාතිමා අතින් ඇදගෙන කඩොලාන මඩ වගුරු සහිත ලඳු කැලෑ ප්‍රදේශයකට ඇය රැගෙන ගොස් ඇත්තේ ඇයට අතවර කිරීමට වුව ද ඉන් බියට පත් දැරිය කෑ ගසන්නට තැත් කිරීම ත් සමග සැකකරු බියට පත්ව තිබේ.

මේ බව දැරිය නිවසට ගොස් ඇගේ මවට හෝ පියාට පැවැසුවහොත් තමාට එරෙහිව ඔවුන් කටයුතු කරනු ඇතැයි සැක කළ තමා දැරිය එම ප්‍රදේශයේ මඩ වගුරක එබූ බව ත් පොලිසියට පවසා තිබේ.

දැරියගේ සිරුර හමුවීම ත් සමග දැරිය මඩේ ඔබා මරා දමා තිබූ ස්ථානයට කඩා වැදුණු ඒ අවට දහසකට ආසන්න පිරිස නිසා මඩ වගුර අවට සාක්ෂි සියල්ල ම විනාශ වීම විමර්ශනවලට මහතා බාධාවක් ගෙන දුන් බව ත් විමර්ශන නිලධාරියෙක් සඳහන් කරයි.

කෙසේ වෙතත්, සැකකරු අතින් දැරිය කිසිදු අතවරයකට ලක්ව නැතැයි පොලිසිය පවසයි.

ඇගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන් තිදෙනෙකුගේ සහභාගිත්වයෙන් පානදුර මූලික රෝහලේදී ඊයේ පැවැත්විණි.

එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කිරීමට ද මත්තෙන් පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයකි.

සිද්ධිය වන අවස්ථාවේ සැකකරු හැඳ සිටි ඇඳුම් ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 9 හැවිරිදි ෆාතිමා ආයිෂ් දැරිය ඉකුත් 27 වන දා උදෑසන නිවස අසල වෙළෙඳසලකට කුකුළු මස් මිල දී ගෙන ඒම සඳහා නිවසින් පිටව ගොස් සිටියදී ආගිය අතක් නැතිවිණි.

අටුළුගම අල් ගස්සහලී මහ විද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලැබූ ඇය පවුලේ තෙවන දරුවා විය.

උදෑසන 10.00ට වෙළෙඳ සලට ගිය දැරිය පැයකට පසුව ද නිවසට නොපැමිණීම හේතුවෙන් සොයා බැලූ ඇගේ මව සහ ඥාතීන්ට ඇය සොයා ගැනීමට නොහැකි වූ තැන ඒ බව බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කර තිබිණි.

පසුව ගම්වාසීන්ගේ හා පොලිසියේ ද සහය ඇතිව දැරිය සොයා සෝදිසි කරද්දී ඇගේ සිරුර නිවසට මීටර් 150ක දුරක පිහිටි කැලෑ ප්‍රදේශයක මඩ වගුරක තිබී මැයි 28 දා හවස සොයා ගැනීමට හැකිවිණි.

පසුව පොලිස්පතිවරයාගේ නියමයෙන් ඇගේ මරණය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරිණි.

පොලිස් කණ්ඩායම් 5ක් ද සමග අපරාධ පරීක්ෂණ නිලධාරීන් දැරියගේ ඝාතකයා සොයමින් අටුළුගම ප්‍රදේශයේ පුළුල් පරීක්ෂණයක් සිදු කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ ඥාතියෙකු ඇතුළු සිවු දෙනෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් ප්‍රකාශ ලබා ගන්නා ලදී. පසුව එම සිවුදෙනාගෙන් දෙදෙනෙකුගෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රශ්න කරද්දී දැරියගේ ඝාතන සුලමුල හෙළි කරගැනීමට හැකි වී තිබේ.

ප්‍රධාන සැකකරු ද පොලිසිය සහ ප්‍රදේශ වාසීන් සමග එක්ව දැරිය සෙවීමට සහය වී ඇති අතර ඔහුගේ හැසිරීම තදින් නිරීක්ෂණය කළ නිලධාරීන් ඔහුව වෙන ම ස්ථානයකට කැඳවාගෙන ගොස් ප්‍රශ්න කිරීමේදී දැරියගේ ඝාතන සුලමුල අනාවරණය කරගෙන තිබේ.

දැරිය කුකුළු මස් රැගෙන එමින් සිටියදී අසල තිබූ කැලයට ඇයව ඇදගෙන ගොස් ඇති බව ත්, දැරියගේ ශරීරය ස්පර්ශ කර ඇති අතර එහිදී ඇය සැකකරුගේ ග්‍රහණයෙන් මිදීමට උත්සහ දරා විලාප නගා ඇති බව ත් හෙළිව ඇතැයි පොලිසිය කීය.

පසුව සැකකරු රෙදි කැබැල්ලක් දැරියගේ මුව තුළට ඔබා තවත් මීටර් කිහිපයක් ඉදිරියට ඇදගෙන ගොස් අසල තිබූ මඩ වගුරකට තල්ලු කර ප්‍රාණය නිරුද්ධ වනතුරු එහි ගිල්වා දැරියගේ පිටට සිය දණහිස තබාගෙන සිට ඇති බවට හෙළිවූ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

සුමිත් රණවක – පොතුපිටිය
– mawbima

Related posts

ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිළධාරින් කටයුතු කරන්නේ එකම ආකාරයටයි-ඇමති බන්දුල ගුණවර්ධන මහතා

Shiran Viraj

කිරි ගොවියන්ට සහ ධීවරයන්ට බඩේ පහර!

Shiran Viraj

අවුරුදු සතියේ කොරෝනා තවත් ඉහලට… අවුරුදු සැමරුම් නෑ..

Shiran Viraj