2026-09-03
mediahumanrights.lk
NewsPolitical

නව මහ බැංකු අධිපති, නව මුදල් අමාත්‍යාංශ ලේකම් පත් කරයි…

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පත් කෙරේ.

අදාළ පත්වීම් ලිපි අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් භාර දෙනු ලැබිණ.

මූල්‍ය ක්ෂේත්‍රයේ හසළ අත්දැකීමක් ඇති ආචාර්ය වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ, සහකාර අධිපති සහ ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති යන ධුර හොබවා තිබේ.

නන්දලාල් වීරසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය සඳහා බාහිර කථිකාචාර්යවරයෙකු සහ මැලේසියාවේ සියසන් මධ්‍යස්ථානයේ බාහිර පර්යේෂණ අර්ථ ශාස්ත්‍රඥයෙකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ක්‍රෝෆර්ඩ් හි මහජන ප්‍රතිපත්ති හා ව්‍යවහාරික සාර්ව ආර්ථික විශ්ලේෂණ මධ්‍යස්ථානයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ද වේ.

කේ.එම්.එම්. සිරිවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය යන රටවල් සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් ඒ මහතා කටයුතු කර තිබේ.

සිරිවර්ධන මහතා සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, මුදල් ප්‍රතිපත්තිය, මහ බැංකුකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය, මූල්‍ය වැඩසටහන්කරණය ඇතුළු ක්ෂේත්‍ර ගනණාවක් පිළිබඳ ජාත්‍යන්තර පුහුණුව ලබා ඇත.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

මතභේදාත්මක ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම භාරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි

Shiran Viraj

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ FCID හමුවට

Shiran Viraj

මහින්ද අගමැතිධූරය හෝ විපක්ෂනායක ධූරය ඉල්ලයි: නැත්නම් මහින්ද – මෛත්‍රී එක්වීමේ සාකච්ඡා නෑ

Shiran Viraj
Translate »