2026-07-08
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…

පොහොර යුද පිටිය මැදට ගිහින් හැරිලා බලද්දි තමන් සහ ජනාධිපතිතුමා දමා අනෙක් සියලු දෙනා පැනගොස් තිබූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

දිනපතා පුවත්පතක් වෙත සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

අවුරුදු 50ක් මේ රටේ මුල්බැහැගත්තු දැවැන්ත රසායනික පොහොර ඇබ්බැහියකින් රට මුදවනවා කියන එක, ඒ දැවැන්ත මාෆියාවත් එක්ක හැප්පෙනවාය කියන එක විශාල අභියෝගයක්. ඒක දැනගෙනමයි මේ වැඩේට බැස්සේ. එතකොට ඒ සා දෙයක් එක්ක හැප්පෙන එක තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක එල්.ටී.ටී.ඊ. යත් එක්ක හැප්පුන එකට පස්සේ මේ රටේ කරපු ලොකුම යුද්ධය. මේක එල්.ටී.ටී.ඊ. යුද්ධයට වැඩියෙන් මිනිස්සු මැරුව, අදටත් මිනිස්සු මරණ ත්‍රස්තවාදයකට එරෙහිව කරපු යුද්ධයක්. මේකත් හැබෑම මානුෂික මෙහෙයුමක්. ඒ නිසා මේ සටනට අපේ අනෙක් හැම බලඇණියක්ම ලැහැස්තිකරමින් අපි මේ යුද පිටියට යමු කියලා මම ජනාධිපතිතුමාට කිව්වා. ඒ වුණත් යුද පිටියට බැහැලා ගහගෙන ගහගෙන ඒ මැදට ගිහින් බලනකොට එතැන හිටියේ මමත්, ජනාධිපතිතුමාත් විතරයි. අනෙක් බලඇණි එකක්වත් අපේ පස්සෙන් ඇවිත් තිබුණේ නැහැ. අන්තිමේදී ඒ යුද පිටියේ මමත්, ජනාධිපතිතුමාත් තනිවුණා.

මේ වෙනුවෙන් ජනාධිපති කාර්යසාධන බලකායක් හැදුවා. ඒක එක දවසක්වත් රැස්වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළියට ඇවිත් ගැහුවා මේකට. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරු 40ක් අත්සන් කරලා මෙයට අකමැත්ත පළ කරලා ලියුමක් දුන්නා. මේ ප්‍රතිපත්තියෙන් හොඳම වාසිය වෙන්නේ මේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශයට හා පරිසර අමාත්‍යංශයට. ඒත් පරිසර ඇමැති මේ ව්‍යාපෘතිය විවේචනය කළා. සෞඛ්‍ය අමාත්‍යංශය එක මාධ්‍ය සාකච්ඡාවක් හෝ තිබ්බෙ නෑ මේ ව්‍යාපෘතියේ සෞඛ්‍ය වැදගත්කම කියන්න. අපේ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් මේකට සහය දුන්නේ නැහැ. මේ ව්‍යාපෘතිය කරට ගන්න ඕනේ අයගෙන් සියයට අනූවක් කරඇරියා. ඒකට හේතුත් තියෙනවා. සමහරු මේ ව්‍යාපෘතිය බොරකරලා ඒකෙ දේශපාලන මාළු බෑවා. සමහරු මේකෙ ආර්ථික මාළු බෑවා. මේ දෙගොල්ලොම ඒ වෙනුවෙන් මට වටකරගෙන ගැහුවා.

Related posts

වැඩ බලන ධීවර ඇමති ලෙස දිලිප් වෙදආරච්චි පත්කරයි

Shiran Viraj

බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක්- ජාත්‍යන්තර සෞන්දර්ය කලා රංග ආයතනයක්

Shiran Viraj

අවධානයෙන් සිටින්න ! ඔබේ බැංකු රැකියාව දේශපාලනඥයින් උදුරාගත හැක

Shiran Viraj
Translate »