28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්.. ‘එක තීරයක් එක මාවතක්’ සංකල්පය නව සේද මාවත ලෙස බාර ගන්නවා..

“චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නෑ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 65ක් පිරීම සහ සුප්‍රකට රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ සහභාගීත්වයෙන් යුතුව කොළඹ වරාය නගරයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා (09) මේ බව සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහත්වරු මෙහි දී කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පිහිටි පදික මං තීරුව මහජනතාව සඳහා විවෘත කළහ.

මෙම පදික  මංතීරුව වෙත පාගමනින් පැමිණීමට මහජනතාවට අවස්ථාව හිමිවන අතර ගාලු මුවදොර පිටිය කෙළවර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ සඳහා තාවකාලික පිවිසුම් දොරටුවක් ඉදිකර ඇත.

පදික මංතීරුව අවසානයේ ඉදිකර ඇති ආරුක්කු හැඩති ලෝහමය එල්ලෙන පාලම දක්වා මහජනතාවට ගමන් කළ හැකි අතර දිනපතා පෙරවරු 9.00  සිට පස්වරු 6.00 දක්වා එහි රැදී සිටීමට ද අවස්ථාව හිමි වේ.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 65ක් සපිරීම වෙනුවෙන් “ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව රුවල් ඔරු ශූරතාවලිය” ආරම්භ කිරීම ද මෙයට සමඟාමීව සිදුවිය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා එක්ව ඇරඹි මෙම ශූරතාවලියේ ශූරතා කුසලානය චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා විසින් මෙහි දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පිරිනැමුවේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෙහි දී 65 සළකුණු කළ “ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව රුවල් ඔරු ශූරතාවලිය”ට අදාළ සමරු ටී ෂර්ටයක් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාට තිලිණ කළේය.

කොළඹ වරාය නගරයේ පැවැති මෙම උත්සවයට ක්‍රීඩාශීලීත්වය එක්වීම දෙරටේම නියෝජිතයන්ගේ පැසසුමට ලක්විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

චීන රජයේ විදේශ ඇමැතිතුමාව මම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අපි එතුමාව පිළිගන්නේ අපේ ඉතාම හිතවත් වගේම සමීප මිත්‍රයෙක් හැටියට. ඒ වාගේම ඉතාම ඓතිහාසික ව ලාංකිකයන් සමඟ සමීපව කටයුතු කරන රාජ්‍යයක නියෝජිතයෙක් හැටියටත් එතුමාව අපි පිළිගන්නවා.

අපිත් චීනයත් අතරේ මේ සම්බන්ධතාවයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයක්. චීන රාජ්‍ය ලෝකය පුරා වෙළඳාම ආරම්භ කළ මුල්ම කාලේ ඉඳන්ම ලංකාවට ඇවිත් ගනුදෙනු කළ බවට වාර්තා තියෙනවා. ඔබගේ රටේ ඉඳන් වන්දනාවේ ආව පාහියන් හාමුදුරුවෝ තබපු වාර්තා අදත් අපේ ඉතිහාසයේ වර්ණවත් කොටසක්. පාහියන් හිමියන් එදා ඉතාම සතුටින් ගෞරවයෙන් අපේ රටට ආවා වාගේම තාමත් චීන ජනතාව ලංකාවට එන්නේ බොහෝම සතුටින්.

චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නෑ. ඒ නිසාම අපේ රටවල්වලට ඉතාම හිතකර ගනුදෙනු කරගන්න හැමදාම පුළුවන් වෙලා තියෙනවා. එදා මැතිනියගෙ කාලෙ ඇති කරගත්ත රබර් – සහල් ගිවිසුම තාමත් අපේ ජනතාවට මතකයි. “අපේ රබර් ඔබගෙන් සහල්”. ඒ වාගේම ලංකාවේ ආහාර හිඟයක් ඇති වුණ වෙලාවක එදා හිටපු අගමැති චෞඑන්ලායි ලංකාවට වුවමනා ආහාර එවලා ඉතා වටිනා පණිවුඩයකුත් එව්වා.

‘‘ඔබට අවශ්‍ය ආහාර ඔබගේ රටේ නිපදවා ගන්න. එය ස්වාධීනත්වයට මගකි.’’

අපි ඒ මාර්ගයට අවතීර්ණ වුණා. ඔබගේ රටත් මුළු ලෝකයමත් අද පිළිගන්නා ජෛව ගොවිතැන අපි ආරම්භ කළා. කොරෝනා වසංගතය නිසා එය අඩපණ වුණත් අපි උත්සාහ කළේ ලෝකයට වැදගත් ආදර්ශයක් දෙන්න.

චෞඑන්ලායි ආරම්භ කල නොබැඳි පිළිවෙත අපි ඉතා සාදරයෙන් පිලිගත්තා.  ඒ පිළිවෙත අපි වාගෙ රට වලට විශාල ශක්තියක් වුණා.

ඒ වාගේම මට මතකයි 2013 එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ ජිනීවා මානව හිමිකම් කොමිසම ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාව. චීන රාජ්‍යය මහා බලවතෙක් විදියට අපි වෙනුවෙන් දැඩි සේ පෙනී සිටියා. ඒක අපේ රටේ වගේම ආසියාතික රටවල ස්වාධීනත්වය වෙනුවෙන් චීනය කළ විශිෂ්ට කැප කිරීමක් බව මම කියන්න ඕනේ.

ගරු ඇමැතිතුමනි,

කොරෝනා වසංගතයෙන් ඔබේ රට දැඩි පීඩාවකට ලක් වුණ බව මට මතකයි. ඒ මොහොතේ කොරෝනා රෝගය බෝවුණ චීන දියණියක් අපේ රටේ රෝහල් ගත කෙරුණා. ඇය සුවපත්ව යනතුරු අපේ රටේ ජනතාව ඉතාම මිත්‍රත්වයෙන් යුතුව ඇයට සුවය ප්‍රාර්ථනා කළා. අපේ රටේ ජනතාව ඔබගේ රට ගැන තියෙන හැඟීම ඉතාම හොඳට පෙනුණ අවස්ථාවක් ඒක. ඒ වාගේම කොරෝනා වසංගතය ඉතාම හොඳින් පාලනය කරලා ඔබගේ රට ලෝකයට ආදර්ශයක් දුන්නා. ඉතාම ඉක්මනින් එන්නත් නිපදවලා ලෝකයට ධෛර්යයක් දුන්නා. පළමු වටයේදීම අපි ඔබගේ චීන එන්නත ගැන විශ්වාසය තැබුවා.

ඒ මොහොතේ අපේ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට සවන්දීලා අපි වෙනුවෙන් කළ පරිත්‍යාගය අපේ ජනතාවට විශාල ශක්තියක් වුණ බව මම කියන්න ඕනෑ.

එබඳු මිත්‍රයකුගේ අනාගත දියුණුව දිහා අපි ඉතා සතුටින් බලා සිටිනවා. චීන රජය අපිට වාගේම ලෝකයටත් උදව් කරන්නෙ ඒ රටවල් වල ස්වාධීනත්වයට ගරු කරමින්. කොන්දේසි දාල, ඇඟිලි ගහලා උදව් කරන ප්‍රතිපත්තිය චීනයට නෑ. අපි වාගෙ රටවල් අපේක්ෂා කරන්නෙ ඒ වාගෙ ප්‍රතිපත්තියක්.

ඒ නිසා චීන කොමියුනිස්ට් පක්ෂයට සිය වසරක් සපිරුණ මොහොතේ  අපි ඉතාම ආඩම්බරයෙන් සුබ පැතුවා. “Belt and road” සංකල්පය අපේ මිත්‍රත්වය තවත් වැඩි දියුණු කරාවි.

එක තීරයක් එක මාවතක් කියන සංකල්පය අපි බාර ගන්නෙ නව සේද මාවත හැටියටයි.  මොකද අපි බොහොම අතීත සේද මාවතේ හිටපු මිත්‍රයො නිසා. එය ආසියාතික රටවල් වලට අප්‍රිකානු රටවල් සමග මිත්‍රත්වයටත්, දියුණුවටත් මාර්ගය විවර කරන බව අපේ විශ්වාසයයි.

විදේශ ඇමතිතුමනි, චීන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතා වලට වසර 65ක් පිරීම නිමිත්තෙන් පසුගියදා අපි සමරු කාසියකුත් නිකුත් කිරීමට කටයුතු කළ බව මා සිහිපත් කරන්න ඕනෑ. එය අපි කළේ අපගේ මිත්‍රත්වයේ සංකේතයක් ලෙසයි.

ඒ වගේම, අපි වරාය නගරයක් ඉදි කිරීමට අපේක්ෂා කළේ ශ්‍රී ලංකාව ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටයි.

මේ සඳහා චීන රජයෙන් අපට ලැබුණු සහය මම සිහිපත් කරන අතර චීන රජයත් සමඟ තිබෙන මිත්‍රත්වය තවත් දැඩි කරන සංචාරයක් හැටියට ඔබගේ පැමිණීම අපි භාර ගන්නවා.ඔබ සැමට තෙරුවන් සරණයි!යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුවන්වන නාමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන්වන පියල් නිශාන්ත, තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත,හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, චීන වාණිජ කටයුතු උප අමාත්‍ය ක්වාන් කෙමින්, සහකාර විදේශ අමාත්‍ය වු ජින්හොං, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොං,මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු ඇතුළු චීන නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

– රොහාන් වැලිවිට  

Related posts

අධිකරණ අමාත්‍යතුමිය වැඩ අරඹයි

Shiran Viraj

නාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි.. රථ වාහන ගමනා ගමනයට බාධා…

Shiran Viraj

ශ්‍රීලනිප සාකච්ඡාවේදී ආණ්ඩුව විවේචනය කරලා

Shiran Viraj