28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා.. රටටම තෙවැනි මග අරඹනවා..’- ආණ්ඩුවේ සෙසු පක්‍ෂත් සමග විමල් කියයි…

‘තෙවැනි මඟ’, සඟරාවක භූමිකාවෙන් ඔබ්බට ගොස් මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිළෙන ‘කෝ අපේ මාවත ?’ කියා අසන පැනයට උත්තර දෙන මහා සංවාද මණ්ඩපයක් බවට නිසැක ලෙසම පත්වනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඊයේ (21) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවති ජාතික නිදහස් පෙරමුණේ ‘නිදහසේ නියමුවෝ’ ප්‍රකාශනයක් ලෙස ‘තෙවැනි මග’ මාසික සඟරාව ජනගත කිරීමේ උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“ඉදිරි කාලය පුරා නිශ්චිතව ඔබගේ සංවාද මණ්ඩපයට එන, ඔබගේ සිතීමේ හැකියාව වැඩි දියුණු කරන ප්‍රකාශනයක් ලෙසයි මෙම තෙවැනි මග මාසික සඟරාව එළි දක්වනු ලබන්නේ. මේ අවස්ථාවේ මෙම සඟරාව එළි දැක්වීම වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ඉසුරු ප්‍රසංග සහෝදරයා ඇතුළු පිරිසට මගේ කෘතවේදීත්වය පළ කළ යුතුව තිබෙනවා.

“සුදුසු විසඳුම් – සුදුසු මාවත්”

ලෝක පරිමාණයෙන් ගත්තත් අපේ රට ගැන සිතුවත් අද අපි ඉන්නේ අවුල් වියවුල් වටපිටාවකයි. මේ වෙලාවේ ලෝකය, අපේ ජීවිත කාලය තුළ සිදු වූ බරපතළම වසංගතයට ගොදුරු වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක ආර්ථිකය බිඳ වැටී තිබෙනවා .දියුණු රටවල පවා ආර්ථිකයන් ඍණ මට්ටමට පත්වී තිබෙනවා.අපේ රටට ඩොලර් ආදායම ලැබෙන බොහෝ මාර්ග අවහිර වී තිබෙනවා.මේ වගේ වෙලාවකදී තමයි මිනිස්සු වෙනදාට වඩා වැඩියෙන් සිතන්න පෙළඹෙන්නේ. මානව සංහතිය තමන් අභිමුව ප්‍රශ්න පත්‍ර මාලාවක් නිර්මාණය කරන කාලවලදී තමයි, ඉතිහාසය සුදුසු විසඳුම්, සුදුසු මාවත් නිර්මාණය කර ගන්නේ. මම විශ්වාස කරනවා අපි මේ පසුකරමින් සිටින්නේ එවැනි වෙලාවක්. මේක ලංකාවේ අපට පමණක් නොවෙයි මුළුමහත් ලෝකවාසීන්ගේ පැත්තෙන් බැලුවත් හැමෝටම හිතන්න බල කරලා, සාමූහික විඥානය පාදාගන්නත් බල කෙරුණු වේලාවක්.

‘කබලෙන් ලිපට නොවැටෙන උත්තරයක්’

ඒ නිසා අපි මේ පසුකරමින් සිටින කාලපරිච්ඡේදය ඉතාමත් තීරණාත්මකයි, මෙම කාල පරිච්ඡේදය තුළ තමයි අපි සුදුසු තීරණ ගැනීමට ඉඩ තියෙන්නේ. ඇතැම් විට සුදුසු යැයි සිතමින් නුසුදුසු තීරණ ගැනීමටත් ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපට යම්කිසි සංවාදයක්, අපේ මාවත පිළිබඳ එකිනෙකා අතර ගැඹුරු හැදෑරීමක් උවමනා වන්නේ. එහෙම වුණොත් පමණයි අපි සොයාගන්නා උත්තරය ‘කබලෙන් ලිපට නොවැටෙන උත්තරයක්’ වන්නේ.

‘ලිබියාව – ඉරාකය’

ඇමෙරිකා එක්සත් ජනපදයට පුළුවන් වුණා ලිබියානු සමාජයේ පැවති පීඩනයන් පාවිච්චි කරලා වත්මන් ලිබියාව නොවෙයි නූතන ලිබියාව නිර්මාණය කළ මුවම්මර් ගඩාෆි පාරෙදි මැරයෙකුට අත්වන ඉරණමට සමාන ඉරණමකට ලක් වන විදියට මරා දමන්න. එතැනදී සිදුවුණේ ලිබියානු සමාජය පැවැති තැනින් තවත් පහළට ඇද වැටීම.අද ලිබියාව කියා රාජ්‍යයක් නැහැ, ඇත්තේ ලිබියාව කියා රටක් පමණයි. අද ලිබියානුවන් ලොව පුරා යුරෝපය ඇතුළු බොහෝ රටවල හිඳිමින් හිඟාකනවා. ඒ විතරක් නෙවෙයි ඉරාකය වැනි රටක් සම්බන්ධයෙන් ගත්තත් පෙනෙන්නේ නුසුදුසු උත්තර සොයා ගත්තොත් ඉන්න තත්ත්වයටත් වඩා නරක තත්වයකට ඇද වැටීමට තිබෙන ඉඩකඩ වැඩි බවයි. මේක අපේ සමාජය, තමන් විසින්ම නිවැරදි යැයි විශ්වාස කරපු උත්තර, ‘සැබෑ උත්තරයක් වෙලා නැහැ නේද?’ කියා හිතන වෙලාවක්. ලැබුණු උත්තරේ සැබෑ උත්තරයක් නොවෙයි කියා හිතන වෙලාවක ඊට වඩා වැරදි උත්තරයක් තමන්ගේ තෝරා ගැනීම බවට පත්විය හැකියි. මේ වගේ වෙලාවල ලෝකයේ බොහෝ රටවල එහෙම වෙලා තිබෙනවා.

ඒ නිසා ලැබුණු උත්තරය ගැන සෑහීමකට පත් නොවන ජන සමාජයක් ඔවුන් සෑහීමකට පත්වන ආකාරයේ උත්තරයක් කරා රැගෙන යාමට අපට සාමූහික වගකීමක් තිබෙනවා. ඒ වගකීම අද අපේ දෙවුර මත පැටවී තිබෙනවා. ඒ වගකීමෙන් අපට අත්මිදෙන්න බැහැ. මේ රටේ මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතිකවාදී බලවේග ඒ වගකීම දෙවුර මත දරා සිටිනවා. ඒ නිසා තමයි අපි මේ ‘තෙවැනි මග’ මගින් උත්සාහ කරන්නේ ලබාගත්තු උත්තරය ගැන වේදනාවට පත්ව, ‘හරි උත්තරයක් හොයන්න ඕනේ’ කියලා හිතන ජන සමාජයට ‘ඒ උත්තරය කුමක් විය යුතුද?’ යන සාකච්ඡාවට සංවාද මණ්ඩපයක් සැකසීමට. ඒ සංවාද මණ්ඩපයට පණදීම තමයි තෙවැනි මග සඟරාවේ ප්‍රමුඛතම සහ එකම අපේක්ෂාව වන්නේ.

‘වැරදි අනුවණ තීරණ’

වසංගතය කියන්නේ අපි නිර්මාණය කර ගත්තු අභියෝගයක් නොවෙයි. නමුත් අපි නිර්මාණය කර ගත්තු අභියෝගත් තිබෙනවා. අපට වළක්වන්නට බැරි, මුහුණ දීමට සිදුවන, ජයග්‍රහණය හැර අන් තේරීමක් නැති අභියෝග වගේම සමහරවිට පාලකයන් විසින් ගනු ලබන වැරදි අනුවණ තීන්දු විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලටත් අපිට මුහුණ දීමට සිදුව තිබෙනවා. තමන් විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලට නොවෙයි අපි බිය විය යුත්තේ. ඒවා නිර්මාණය නොකරගෙන හිටියාම ඒවායෙන් ගැලවෙන්න පුළුවන්. නමුත් අපට මුහුණ දී ජය ගැනීම අනිවාර්ය වී තිබෙන අභියෝගවලට විසඳුම් සෙවිය හැකි මගක් අපි විසින් වහාම නිර්මාණය කරගත යුතුව තිබෙනවා.

‘රට තිබෙන තැන’

අපි හැමදාම කියනවා, ‘අපේ රට උපායමාර්ගිකව ඉතා වැදගත් තැනක පිහිටි රටක්’ කියා. ඒ වගේම ගුරුත්වාකර්ෂණ බලයට අඩුවෙන්ම ලක් වන රට මෙයයි. ලෝකයේ අනෙක් රටවල් සමඟ සැසඳූ විට අපේ රටේ ජනතාවගේ බුද්ධිමය හැකියාවන් යහපත් තත්ත්වයක තිබෙනවා. එවැනි මානව සම්පතක් සමඟ ස්වභාවධර්මයා විසින් ලබා දී ඇති සම්පත්වලින් ද මේ රට අනූනයි. ස්වභාවධර්මයා විසින්ම දේශසීමාව නිර්මාණය කොට දී තිබීම ද දැකගත හැකියි. එවැනි රාජ්‍යයක් 2021 වන විට තිබිය යුතු තැන ද මේ තිබෙන්නේ? මානව සම්පත, ස්වභාවධර්මයා විසින් ලබාදී ඇති සම්පත්, දේශසීමා ආදී මේ සියලු ඉහළ විභවයන් සැලකූ විට මේ රාජ්‍යය තිබෙන්නේ, තිබෙන්න ඕනේ තැනට වඩා ගොඩක් පහළ ස්ථානයක. මේ රටට ඒ වැරැද්ද සිදුවීම සඳහා බලපෑ හේතු ගණනාවක් තිබෙනවා. ඒ හේතු ගැන පමණක් කථා කරමින් ඉන්නවා වෙනුවට අපේ රාජ්‍යයට සිදුව ඇති ඓතිහාසික වැරැද්දෙන් එය එළියට ගැනීමේ පොටයි අපි පාදාගත යුත්තේ. මම හිතන්නේ, මේ ඉතිහාසය සෙමින් ‘විළිරුදාවෙන්’ පෙළෙන්නේ එක්තරා ආකාරයක එවැනි ‘දරු ප්‍රසූතියක්’ සඳහා කියලයි.

ඉතිහාසය නිර්මාණය කරන ඇතැම් අවස්ථා අපට පෙනෙන්නේ ‘නරක අවාසනාවන්ත’ අවස්ථා ලෙසයි. නමුත් ඉතිහාසය විසින් සමහර විසඳුම් බිහි කරන්නෙත් එවැනි අවස්ථාවලයි. සාමාන්‍ය තත්වයකදී පරිභෝජනය නොකරන දේවල් විශේෂ තත්ත්වයකදී පරිභෝජනය කරන්න වෙනවා. නිදසුනක් ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ සිටි අපේ රණවිරුවෙක් දින විස්සකට වැඩි කාලයක් මහ මුහුදේ බෝට්ටුවක පාවෙමින් තායිලන්තය වෙත යනවා. එම ගමනේ දින පහළොවක් පමණ යන විට කන්න බොන්න කිසිවක් නැති වෙනවා. එහිදී ඒ බෝට්ටුවේ සිටි නිරාහාරව මියගිය තමන්ගේ සඟයාගේ ලේ ටික බීපු අවස්ථා, මාළු අල්ලාගෙන අමුවෙන් කාපු අවස්ථා, තමන්ගේ මූත්‍රා ටික බීපු අවස්ථා තිබෙනවා. ඒක විශේෂිත අවස්ථාවක්. ඒ විශේෂිත අවස්ථාවට හරියන උත්තරවලට යමෙකු ඒ අවස්ථාවේ යනවා. සාමාන්‍ය අවස්ථාවලදී අපි එවැනි උත්තරවලට යන්නේ නැහැ. අපි මේ ඉන්නේ සාමාන්‍ය උත්තරවලින් විසඳුම් නොලැබුණු විශේෂිත අවස්ථාවකට මුහුණ දීලා. ඒ නිසා දැන් අපට තෝරාගන්න වෙන්නේ සාමාන්‍ය අවස්ථාවක තෝරාගැනීම් නොවෙයි. මේ විශේෂිත තත්ත්වය දකින්න පුළුවන්, එය අබිබවන්න පුළුවන්, රාජ්‍යයට සිදුවන ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න පුළුවන්, අපේ නූතන තරුණ පරම්පරාව අපේක්ෂා කරන පරමාදර්ශී අනාගතය නිර්මාණය කරන්න පුළුවන් උත්තර අප විසින් සපයාගත යුතුව තිබෙනවා.

‘පැනයට පිළිතුර’

අප මෙතෙක් දේශපාලනයේ ඉටු කරන ලද කාර්යභාරයේ, තීරණාත්මක පිළිතුරු සැපයීම කරා ගමන් කරමින් සිටිනවා. ඉන් අපට ගැළවෙන්න බැහැ. අපි මේ රටේ ජාතිකවාදී බලවේග, වාමවාදී බලවේග හැටියට තමන්ගේ හෘදසාක්ෂිය පැත්තක තියලා දේශපාලනය කරන බලවේගයක් නොවෙයි. අපි තීරණාත්මක අවස්ථාවක තමන්ගේ හෘදසාක්ෂිය සමග හිටගන්න බලවේගයක්. හෘදසාක්ෂියත් සමඟ ගනුදෙනු නැති – ඩොලර් මිටි සමඟ ගනුදෙනු ඇති අයට මේවා තේරෙන්නේ නැති වුණාට හෘදසාක්ෂියත් සමග ගනුදෙනු ඇති මේ රටේ ජාතිකවාදී වාමවාදී බලවේගවලට ඒ කාරණය හොඳහැටි තේරෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා, අද ජනගත වන මේ ‘තෙවැනි මඟ’ මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිළෙන ‘කෝ අපේ මාවත ?’ කියා අසන පැනයට උත්තර දෙන මහා සංවාද මණ්ඩපයක් බවට නිසැක වශයෙන්ම පත්වේවි, කියා. ඒ සංවාද මණ්ඩපය වර්ණවත්ව බබලවන්න ඔබ සියලුදෙනාට හැකි වේවා’යි ප්‍රාර්ථනය කරනවා.”

මෙහිදී පැමිණ සිටි ආරාධිත පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සිදු කළේය.

මෙම අවස්ථාවට පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක, අමාත්‍ය උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, යුතුකම සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය යන ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයෝ ද ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම යන මහත්වරු ඇතුළු විද්වත්හු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

නව ව්‍යවස්ථාව වසරකින් ගේනවා – අධිකරණ ඇමති අවුරුදු දෙකේ කාල රාමුව වෙනස් කරයි

Shiran Viraj

පන්ති යනවා කියලා කොල්ලත් එක්ක කැලේ රිංගලා – කොල්ලට ගහලා කෙල්ලව සමූහ දූෂණය කරලා

Shiran Viraj

දුමින්ද රෝහල්ගත කල අසනීපය මෙන්න.. දැනට ලංකාවේ බෙහෙත් නෑ..

Shiran Viraj