2026-09-06
mediahumanrights.lk
NewsPolitical

පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපති උපදෙස් දෙයි

ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම ප්‍රදේශයට ගුවනින් පැමිණියා. ඒ, එම මාර්ගය ඉදිකිරීමෙන් සිංහරාජ වනාන්නතරයට දැඩි පරිසර හානියක් සිදුවන බවට පරිසරවේදීන් අනාවරණ කිරීමත් සමගයි.

ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව නෙළුව, වාරුකන්දෙනිය, ලංකාගම හරහා දෙනියාය මාර්ගය කිලෝමීටර් 18 සංවර්ධනය කිරීමටත් සිංහරාජය හරහා ඇති මීටර් 1100 පරිසරයට කිසිදු හානියක් සිදු නොවන පරිදි අදාළ සියළුම රජයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලෙසටත් තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යුද හමුදාව මාර්ග ප්‍රතිසංස්කරණය භාරව සිටී. කි.මි 18ක දුර ප්‍රමාණය තෙමසක් තුළ නිම කිරීමට උපදෙස් දෙනු ලැබුවා.

මාර්ගයේ ප්‍රතිසංස්කරණ නිමවීමෙන් පසු ලංකාගම සිට දෙනියායට යාමට ගතවූ පැය 04කට ආසන්න කාලය විනාඩි 45කට කෙටි වේ.

ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියායට බස් රථයක් දෛනිකව ධාවනයට එක් කිරීමටද තීරණය කෙරුණා.

ලංකාගම ග්‍රාමයේ වැල් පාලම වෙනුවට දිගින් අඩි 120කින් සහ පළලින් අඩි 06කින් යුත් පාලමක් ඉදිකිරීම ද සමගාමීව සිදු කෙරේ.

වතුගල, ලංකාගම, නිල්වැල්ල, කොළොන්තොටුව සහ පිටදෙනිය ගම්මානවල දරුවන්ට පාසලට පැමිණීමට මෙතෙක් පැවති බාධකය ඉන් ඉවත් කෙරේ.

පවුල් 700ක් වෙසෙන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලකටම පැල 03 බැගින් නොමිළේ දී පැළ 2100ක් වගා කර ඔවුන් විසින්ම රැකගෙන වන රක්ෂිතයට දායාද කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා.

සිංහරාජ වන රක්ෂිතය සහ පරිසර පද්ධතිය පාරම්පරිකව රැකගත් තමන්ට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට එරෙහිව පරිසරවේදීන් කණ්ඩායමක් කරුණු හරිහැටි  නොදැන බලපෑම් කරන බව පවසමින් ප්‍රදේශවාසීහු දැඩි විරෝධය පළ කර සිටියා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

බිලියනයක පාඩුව වසරකදී බිලියනයක ලාභයක් වෙලා

Shiran Viraj

ටියුුෂන් ගිය පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්… තිදෙනෙක් රෝහලේ…

Shiran Viraj

තවත් මැතිවරණයක් කැදවයි.. ඡන්ද විමසීම ජනවාරියේ..

Shiran Viraj
Translate »