28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

පුතාගෙන් ලැබෙන මානසික සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ -රොෂාන් රණවන

කාලයක් රිදී තිරයේ ජනප්‍රියම පෙම්වතා බවට පත් වී රසික ජනාදරය නොඅඩුව ලබා පසුව ටික කලක් නිහඬව ගත කරමින් නැවතත් සිනමා රංගනයට පිවිස රසිකයන් අතරට පැමිණි රොෂාන් රණවන මේ වෙද්දි මාස අටක පුංචි පුතෙකුගේ පියෙක් ලෙස ඉතා සතුටින් කාලය ගත කරනවා. කැදැල්ලට පැමිණි අලුත් අමුත්තා ගැන වගේම කලා වැඩකටයුතු ගැන කතාබහකට රොෂාන් රණවනව මෙවර අපි සම්බන්ධ කරගත්තා.

රොෂාන් මේ දවස්වල බොහොම සතුටින් කාලය ගත කරනවා නේද?

ඔව් මේ දවස්වල රටේ පවතින වාතාවරණයත් එක්ක ගෙදරට වෙලා පවුලත් එක්ක කාලය ගත කරනවා. නිතරම වැඩත් එක්ක කාර්යබහුල වෙන නිසා බොහොම කලාතුරකින් මේ වගේ අවස්ථාවක් මට ලැබෙන්නේ. විශේෂයෙන් මගේ පුංචි පුතා දැන් ඉපදිලා මාස අටක් වෙනවා. දැන් එයාට ටික ටික තේරෙන වයස. මේ කාලයේ අම්මා තාත්තා දෙන්නම එයා ළඟ ඉන්නවා. කාර්යබහුල තාත්තා කෙනෙක් විදිහට මට මේක හොඳ අවස්ථාවක් මගේ දරුවත් එක්ක ඉන්න.

දරුවාගෙන් රොෂාන්ට ලැබෙන මානසික සතුට ගැන අපි කතා කරමු?

දරුවෙක් කියන්නේ පියෙක්ට සම්පතක්. දරුවගෙන් ලැබෙන මානසික සුවය, සැනසීම වචනයෙන් මට විස්තර කරන්න බැහැ. මම දරුවා තුළින් මාවම දකිනවා. දරුවාගේ අනාගතය ගැන හීන දකිනවා. ඒ හැමදේම සමඟ ජීවත් වෙද්දි දවසින් දවස තව තවත් බලාපොරොත්තු ජීවිතයට එකතු කරගන්නවා.

මිනෙත්වත් රංගන ශිල්පියෙක් කරන්නද රොෂාන් හීන දකින්නේ?

නැහැ. දරුවාට කැමති ඕනේම ක්ෂේත්‍රයකට එයාට යන්න දෙනවා. මම කැමති දේවල් දරුවාට කියලා කරවා ගන්න මම කැමති නැහැ. එයාගේ දක්ෂතාවය, කැමැත්ත කොතැනද තියෙන්නේ ඒ ක්ෂේත්‍රය හරහා එයා එයාගේ අනාගතය හදාගනීවි.

රොෂාන්ගේ කලා වැඩ කටයුතුවලට වගේම පවුලේ වැඩ කටයුතුවලට ඔබේ බිරිඳ කුෂ්ලානිගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

බිරිඳක් විදිහට වගේම අම්මා කෙනෙක් විදිහටත් කුෂ්ලානිගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. දරුවා වෙනුවෙන් ඇය අවුරුදු දහතුනක වෘත්තිය ජීවිතයට සමුදුන්නා. සියයට සියයක්ම දරුවා වෙනුවෙන් සහ පවුලේ අනෙකුත් වැඩ කටයුතු වෙනුවෙන් කාලය වෙන් කරන්න ඇයට අවශ්‍ය වුණා. මවුපියන් දෙන්නාම දරුවා ළඟ ඉන්නවා කියන්නේ දරුවාගේ මානසික මට්ටම සහ පෞරුෂයත් ඉතා හොඳීන් හැදෙනවා කියන එක. මොකද මවුපියන්ගේ සෙනෙහස නොලැබෙන දරුවන් පසුකාලීනව හීන පෞරුෂ ලක්ෂණ පෙන්නනවා.

කලා ක්ෂේත්‍රයේ බොහෝමයක් රංගන ශිල්පීන් විවාහ වෙලා ඉතා කෙටි කලකින් පවුල් ජීවිත කඩා විසුරුවන වකවානුවක රොෂාන් ඉතා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරමින් පවතිනවා. මොකද්ද ඒ සාර්ථකත්වයේ රහස?

කලා ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයකම දැන් අපි ඒ වගේ දේවල් දකිනවා වැඩියි. කලාකරුවෝ විතරක් නෙමෙයි කලාවෙන් පිට වෙනත් රැකියා කරන තරුණ තරුණියන් පවා විවාහ වෙනවාට වඩා ඉක්මනින් දික්කසාද වෙනවා. මෙතන තියෙන එකම ගැටලුව අවබෝධයක් නැතුව තමන්ගේ සහකරුව ඉක්මනින් හොයාගන්න එක. ප්‍රධාන දේ දෙදෙනා අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය. නමුත් දැන් සහකරුවා හෝ සහකාරිය හොයන්නේ වෙනත් යටි අරමුණු වෙනුවෙන්. වෘත්තියෙන් ඉස්සරහට යන්න, මිල මුදල් නිසා, රූපය නිසා ජීවිතේ ඉක්මන් තීරණ ගන්නවා. එහෙම විවාහ වෙලා එකට ජීවත් වෙනකොට නොගැලපීම්, මත ගැටුම් එනවා. කොච්චර ගැලපුවත් අවබෝධය තිබුණත් එකට එකතුවෙලා ජීවත් වෙනකොට ප්‍රශ්න, ගැටලු එනවා. ඒකෙදි කාටවත් වැරැද්දක් කියන්නත් බැහැ. ප්‍රධාන දේ හදවත් දෙක ගළපගන්න ඕනේ. ගොඩක් අය හිතන්නේ විවාහ ජීවිතය කියන්නේ රෝසමල් යහනාවක් වගේ එකක් කියලා. මිනිස්සු වෘත්තිය ජීවිතය වෙනුවෙන් කරනවා වගේම කැප කිරීමක් විවාහ ජීවිතය වෙනුවෙනුත් කරන්න ඕනේ. අනිත් කෙනා ගැන හිතන්න ඕනේ. අපි තනිකඩව ඉන්නවා වගේ තීන්දු තීරණ තනියම ගන්න බැහැ. මේ මොකක්හරි දෙයක් අඩු වෙනකොට තමයි විවාහ ජීවිත අසාර්ථක වෙන්නේ. ප්‍රධාන දේ අවබෝධය. ඒ වගේම අවංකකම.

ඒත් රොෂාන් රණවනට තියෙන ජනප්‍රියත්වයත් එක්ක තවමත් ප්‍රේමආරාධනා එහෙම එනවා ඇති නේද?

අපෝ නැහැ. (සිනාසෙමින්) ඉස්සර නම් ආවා. ඒත් දැන් නම් ඒ වගේ ආරාධනා එන්නේ නැහැ. ඒත් රසිකයන්ගේ ආදරය නම් මට නොඅඩුව ලැබෙනවා. රංගනයට නම් පෙම්වතාගේ චරිතයට ආරාධනා ලැබෙනවා.

රොෂාන් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය රිදී තිරයේ පෙම්වතාගේ චරිතයෙන්. පෙම්වතාගේ චරිතයෙන් ඔබ්බට ගිහින් චරිතාංග රංගන ශිල්පියෙක් විදිහට තමන්ගේ දක්ෂතා පෙන්වන්න බලාපොරොත්තුවක් නැද්ද?

face to face චිත්‍රපටයේ සහ ගෝරි චිත්‍රපටයේ මම ප්‍රතිවීර චරිත රඟපෑවා. “උලත් එකයි පිළත් එකයි” චිත්‍රපටයේ මෝඩ චරිතයක් රඟපෑවා. නමුත් මම හිතන්නේ ප්‍රේක්ෂකයන් අතරට ඒ චරිත ඒ තරම් ජනප්‍රිය වෙන්නේ නැතුව ඇති. ආරාධනා ලැබුණොත් ඕනෙම අභියෝගයක් භාරගන්න මම කැමතියි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි කරන පළවෙනි චරිතයෙන්ම හැමෝම අපිව රාමුවක හිර කරනවා. ඉන්පසුව අපි දිහා බලන්නේ ඒ රාමුව ඇතුළේ ඉඳලා.

මේ දවස්වල ඔබේ කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කොහොමද?

අලුතෙන් චිත්‍රපට දෙකක වැඩ කටයුතු කෙරෙමින් පවතිනවා. රටේ පවතින අවදානම් තත්තවයත් එක්ක ඒ වැඩ අතරමඟ නතර වෙලා තියෙන්නේ. ඒ වගේම චිත්‍රපට කීපයක් තිරගත වෙන්න නියමිතයි. සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කරපු “නිහඬ සෙවනැලි” කියලා භීතිය දනවන චිත්‍රපයක් තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කරපු ජයලත් මනෝරත්නයන්ගේ අවසාන චිත්‍රපටය වෙන “මිස් ජෙනිස්” තිරගත වෙන්න නියමිතයි.  “Secret of the rose” කියලා මම රංගනයෙන් දායක වුණු කලාත්මක ගනයේ චිත්‍රපටයක් තිරගත වෙන්න නියමිතයි.

රොෂාන් ටෙලිනාට්‍යවල සහ වේදිකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. රොෂාන් රණවන කියන්නේ සිනමා රංගන ශිල්පියෙක් විතරමද?

නැහැ. මම සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කරපු “ඉත්තෝ” කියලා ටෙලිනාට්‍යයක රහස්පරික්ෂකයෙකුගේ චරිතයක් රඟපෑවා. එය සියත නාළිකාවේ විකාශය වුණේ. වේදිකා නාට්‍ය රංගනයට නම් යන්න මම හිතලා නැහැ. වේදිකාව කියන්නේ වෙනම තැනක්. ගොඩක් වෙලාව කැප කරන්න ඕනේ වේදිකාවට. මම ආසයි වේදිකා නාට්‍ය රංගනයට. ඉදිරියේදි කාලය වැඩිපුර කාලය වැය කරලා වේදිකාවටත් එන්න බලාපොරොත්තු වෙනවා.

කොරෝනා වෛරසයේ බලපෑම මුළු ලෝකයටම බලපා තියෙන මොහොතක ලංකාවේ කලා ක්ෂේත්‍රයත් එක තැන නතර වෙලා තියෙන්නේ. කලාකරුවන් විදිහට මේ තත්ත්වයත් එක්ක ඉදිරි වැඩ කටයුතු කරන්නේ කොහොමද?

ඒක හරි අමාරු දෙයක්. පළමු වතාවට අපි මේ වගේ දෙයකට මුහුණ දෙන්නේ. ලංකාවේ සිනමා කර්මාන්තයේම ප්‍රශ්න ගොඩක් තිබුණා. සිනමාහල්වල ගැටලු, නිර්මාණවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු ආදී වශයෙන්. ඒ ප්‍රශ්නත් එක්ක තවත් වෛරස ප්‍රශ්නයක් ආවාම ක්ෂේත්‍රය රැකගන්න පුළුවන් ද කියලා ගැටලුවක් එනවා. මුලින්ම සිනමාව ඇතුළේ තියෙන ප්‍රශ්න ටික විසඳගන්න ඕනේ. ඒක කලාකාරුවන් විදිහට අපි හැමෝගෙම වගකීමක්. කොරෝනා වෛරසයත් එක්ක ලංකාවේ හැම ක්ෂේත්‍රයක්ම අඩාල වෙලා තියෙන්නේ. කලාව විනෝදය, රසාස්වාදය සපයන මාධ්‍යයක් විදිහට හඳුන්වන්නේ. රසාස්වාදයට විනෝදයට වඩා මිනිස්සුන්ට ජීවත්වෙන්න ආර්ථික ප්‍රශ්න තියෙනවා විසඳගන්න. ඒ ප්‍රශ්න විසඳුණාම තමයි මිනිස්සු කලාවට නැඹුරු වෙන්නේ. රජයෙන් මේ කලාවට සිනමාවට සහයෝගයක් අවශ්‍යම කාලයක් මේක.

අවසාන වශයෙන් ක්ෂේත්‍රයට අලුතෙන් සම්බන්ධ වුණු තරුණ රංගන ශිල්පීන්ට මොකක්ද කියන්න තියෙන්නේ?

හොඳ දක්ෂ තරුණ පිරිසක් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අයට කියන්න තියෙන්නේ තමන් කරන නිර්මාණය සියයට සියයක්ම අවදානය යොමු කරලා ඒ නිර්මාණයට තමන්ගේ උපරිම දායකත්වය ලබාදෙන්න. ඒ වගේම ක්ෂෙත්‍රය තුළ විනයක් ඇතුව කටයුතු කරන්න. තමන් කරන දේ හරියට දැනගෙන තමන් යන පාර හරියට හඳුනාගන්න කියලා මම ඒ අයට කියනවා.

උපුටා ගැනීම සරසවිය පුවත් පත ඇසුරෙනි

Related posts

ජනාධිපති-ආණ්ඩුව කිසි වැඩක් නෑ කියා ජනතාව බනිනවා..- රෝහිත රාජපක්‍ෂ

Shiran Viraj

ගෑස් මිල 300කින් ඉහලට…?

Shiran Viraj

කටුකුරුන්ද පාර අයිනේ පුද්ගලයෙක් මිය යයි.. කොරෝනා යයි සැකයෙන් ප‍්‍රදේශය නොසන්සුන්..

Shiran Viraj