27.2 C
Colombo
2026-10-24
mediahumanrights.lk
NewsPolitical

ලංගම ගොඩදාන සූත්තරේ ජනපති කියයි..

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි.

භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරනු වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබාදිය හැකි රාජ්‍ය ආයතනයක් බවට ලංගම පත්කිරීමට හැකි බව ද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ලංකා ගමන ගමන මණ්ඩලයේ වත්මන් තත්ත්වය විමර්ශනය සඳහා (21) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

සතියේ දිනවල පෙරවරුවේ සහ පස්වරුවේ දැඩි මාර්ග තදබදයක් පවතී. එය සමනය කරනු පිණිස සිය මෝටර් රථයෙන් කාර්යාලවලට යන පිරිස් පොදු ප්‍රවාහන සේවයට එක් කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඊට පිළියමක් ලෙස තෝරාගත් ස්ථානයක මෝටර් රථය නවතා සේවා ස්ථානයට බස් රථයෙන් ගමන් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් (Park and Drive) කඩිනමින් හඳුන්වා දෙන්නැයි ජනාධිපතිතුමා යෝජනා කළේය. උපරිම පහසුකම් සහිත බස් රථ ඊට එක්කළයුතු බව ද එතුමා කීය.

පාසල් සිසුන් සඳහාම ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පාසල් බස් සේවය ප්‍රවර්ධනය කළයුතු ඇතැයි ද රාජපක්ෂ මැතිතුමා පැවසිය. පාසල් බස් රථ කහ පාට ගන්වා මහා මාර්ගයේ දී ප්‍රමුඛත්වයක් ලැබෙන ආකාරයෙන් ධාවනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ වර්ණ දෙකක් යටතේ ධාවනයට යෙදවීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

සේවක දිරිගැන්වීම, අලුත් ක්‍රම හඳුන්වාදීම, නාස්තිය අවම කිරීම සහ හොරකමට තිත තැබීම සඳහා විධිමත් පියවර අනුගමනය කිරීම ගැන ද සාකච්ඡාවට ලක් විය. ආයතනය දියුණු කිරීම පිණිස නිරන්තර පර්යේෂණ සහ සමීක්ෂණ සිදු කළයුතුව ඇතැයි ද ජනාධිපතිතුමා පැවසීය.

4500 ක පමණ දක්ෂ කාර්මික නිලධාරීන් කණ්ඩායමක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සිටිති. ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන ආයතනයෙන් පිටත නඩත්තු කිරීම් සඳහා ඇණවුම් භාරගැනීමෙන් මුදල් ඉපැයිය හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ප්‍රයෝජනයට නොගත් විශාල භූමි ප්‍රමාණයක් ලංගම සතු වේ. එම ඉඩම් නිසි කළමනාකරණයෙන් ද මුදල් ඉපැයිය හැකිය.

ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට කෘෂි අස්වනු ප්‍රවාහනයෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද සහන සැලසීමේ හැකියාව ලංගම සතුව ඇති බව ජනාධිපතිතුමා පැවසීය. පුහුණු පාසල් තවදුරටත් දියුණු කර සේවක දැනුම පුළුල් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කෙටි, මධ්‍ය හා දිගු කාලීන සැලැස්මකට අනුව සමස්ථ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ප්‍රධාන විධායක සාගර හේමන්ත වඩුගේ, අධ්‍යක්ෂ ජනරාල් (පොදු ව්‍යවසාය) අතුල කුමාර මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය
(under the courtesy of lankacnews.com news web)

Related posts

Travel Update – Detroit named second best city for 2018 travel destinations

Shiran Viraj

ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.. ජනාධිපති ෆේල්..- ඩිලාන්

Shiran Viraj

කොරෝනා ආසාදිතයින් ගණන 582 දක්වා ඉහළට

Shiran Viraj
Translate »