28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

පැවති පාර්ලිමේන්තුව කැදවීමට මං කැමති නෑ.. ජනතාවත් කැමති නෑ..- සුජීව

පාර්ලිමේන්තුව යළි කැඳවීම පිළිබඳ ජනතාව මෙන්ම තමන්ද අකමැති බවත් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව කැඳවිය හැකි බවත් හිටපු නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ ඊයේ (05) ප්‍රකාශ කළේය.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගය වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිය අදහස් දක්වමිනි.

මන්ත්‍රීවරුන් කැඳවා පැවැත්වූ රැස්වීමේදී ණය ආධාර සහ කොරෝනා උවදුර සම්බන්ධයෙන් ලැබූ ආධාර සම්බන්ධව අගමැතිවරයාගෙන් නිසි පිළිතුරක් නොලැබුණු බවද හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන එකසිය විසි හතක් ලැබී නැති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළද ආණ්ඩුවේ​ වෙබ් අඩවියක දක්වා තිබුණේ එම මුදල් ලැබී ඇති බව යැයිද ඔහු ප්‍රකාශ කළේය.

පළමු අදියර වශයෙන් චීනයෙන් ඩොලර් මිලියන පන්සීයක්ද, දෙවැනි අදියර ලෙස තවත් ඩොලර් මිලියන හත්සිය පනහක්ද ලැබුණු බවට තොරතුරු ලැබුණු බවද හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

ඒ පිළිබඳවද අගමැතිවරයා හෝ ආණ්ඩුවේ නිලධාරීන් විසින් පිළිතුරු ලබානොදුන් බව හෙතෙම කීවේය.

මෙම ආධාර මුදල් ලැබුණද, එම මුදල්වලට වූයේ කුමක්ද යන්න පිළිබඳව ජනතාව විමසිල්ලෙන් සිටින බවද කී හිටපු නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ පවුල් ලක්ෂ හැටකට රුපියල් පන්දහස බැගින් ලබා දුනහොත් ඒ සඳහා වැයවන්නේ රුපියල් බිලියන තුනක් වැනි මුදලක් බවද කීය.

මේ වනවිට රුපියල් බිලියන දෙසිය තිහක් ආණ්ඩුවට ලැබී තිබිය යුතු බවද කී හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා,

‘‘රුපියල් පන්දහස මිලියන හයකට දීලා නෑ. අපට ලැබුණු තොරතුරු අනුව මිලියන තිහකට විතරයි දීලා තියෙන්නේ. තවත් පන්දහසක් ලබාදෙන බව පවසා තිබුණා. මේ පන්දහස පවුලකට ජීවත්විය නොහැකි සුළු මුදලක්. ජනතාව මේ සම්බන්ධව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. ජනතාව බලහත්කාරයෙන් ගෙවල්වලට වෙලා ඉන්නේ නෑ. ආණ්ඩුවෙන් දැමූ නීතිරීති නිසා එසේ ඉන්න සිදුව තිබෙනවා.

ආණ්ඩුව රටේ ජනතාවට සහන මල්ලක් දෙනවා කිව්වා. ඒ පොරොන්දුවත් ඉටුවෙලා නෑ. කල්බදු ණය සහන දෙනවා කිව්වා. ඒත් තවමත් ඒ ණය වාරික ජනතාවගෙන් අයකර ගන්නවා. මේ ලීසිං, විදුලි බිල්, ජල බිල්, දුරකථන බිල්, ක්‍රෙඩිට් කාඩ් බිල් සියල්ලම ලැබුණාම ජනතාවට දරාගන්න බැරි පීඩාවක් විය හැකියි.

බදුවල වෙනස්කම් කළ නිසා බිලියන හාරසිය පනහක් රජයට ඒ අවස්ථාවේම අහිමි වුණා. ඒ දුර දැක්මක් නොමැති නිසා.

ආණ්ඩුව මේ වසංගතයේ වරද නිතරම කවුරුන් හෝ මත පටවන්න හදනවා. පළමුව ඉතාලියේ සිට මෙරටට ආ අපේම රටවිරුවන් මත වරද පැටවූවා. ලෙඩක් හැදුණාම ඒ අයට රටට එන්න අයිතිය තිබිය යුතුයි. ඉන්පසු නාවික හමුදාවට දොස් කියනවා. කිසිවකුට ඇඟිල්ල දිගු නොකර ආණ්ඩුව කාර්යභාරය කළමනාකරණය කරගත යුතුයි.

ලංකාවට වඩා අඩුවෙන් කොරෝනා තිබෙන රටවල් සිය ගණනක් තියෙනවා. ඒවා මාධ්‍යවලින් පෙන්වන්නේ නෑ. දත්ත නිසි ලෙස දෙන්නේ නෑ, දත්ත පරස්පරයි.

රටේ සමාගම් වැටුප් ගෙවන්න ආණ්ඩුවෙන් මුදලක් ඉල්ලා තිබෙනවා. ඒත් ඒ සහන ලබාදී නෑ. මේ මාසයෙන් පසුව ආණ්ඩුවට වැටුප් ගෙවාගන්න බැරිවෙනවා. මේ තත්ත්වය මත බිලියන දෙසිය දාහතක් මුදල් නෝට්ටු ආණ්ඩුව අච්චුගහලා. මුදලේ අගය නැති වෙන්නේ ඒ නිසයි. මේක භයානකයි. සිම්බාබ්වේ, අයිස්ලන්තයේ මුදලේ අගය නැතිවුණේ ඒ නිසයි. ඇමරිකාව මුදල් අච්චු ගහන්නේ විශාල සම්පත් ප්‍රමාණයක් තියාගෙනයි.

ආණ්ඩුවට මේක කළමනාකරණය කරගත හැකි නම් පාර්ලිමේන්තුව කැඳවන්න ඕන නෑ. මා නම් අකමැතියි පාර්ලිමේන්තුව කැඳවනවාට. ජනාධිපතිට වුවමනා නම් පාර්ලිමේන්තුව කැඳවිය හැකියි. ඒත් කළමනාකරණය කරගන්න බැහැ.

ආණ්ඩුවේ සහායක් නොලැබුණොත් සමාගම් සියයට හතළිහක් පමණ බංකොළොත් වෙනවා. කොන්දේසි විරහිත ණයක් ඒ අය ඉල්ලනවා වැටුප් ගෙවාගන්න.

එකොළොස් වැනිදා ඇඳිරි නීතිය ඉවත් කරන්න තරම් තත්ත්වය පහව ගොස් නෑ. ජන ජීවිතය ආරම්භ කළේ නැත්නම් ආර්ථිකයට දැරිය නොහැකි බරක් ඇතිවෙනවා. ආණ්ඩුවට අදහස් දෙන්න ඕන තරම් ඉන්නවා. ඒත් එක අදහසක්වත් නිවැරදි දිශාවට යන්නේ නෑ.

චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රිපාල යන අය අවුරුදු විසි පහක් බලයේ හිටියා. දේශීය නිෂ්පාදන ගැන කතා කරනවා. මේ අය හැම වෙලාවෙම රටේ නිෂ්පාදනය කරමු කිව්වා. ඒත් කිසිම දෙයක් කරන්නේ නෑ. මහවැලිය, ඇඟලුම් කම්හල් නිසා තමයි මේ තරම්වත් යන්නේ.

ටී.එන්.ඒ. සංවිධානය ගැන දැන් හුඟක් හොඳ කියනවා. හිස්බුල්ලා, රවුෆ් හකීම්, සම්බන්ධන් වුණා නම් ඒ අයට ඉතාම හොඳ අය. රනිල් වික්‍රමසිංහ දැන් ඉන්නෙත් මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවේ. එනිසා රනිලුත් හොඳයි. ටී.එන්.ඒ. ගැන දිගටම හොඳ කියන්න කියා මා ආණ්ඩුවේ අයගෙන් ඉල්ලනවා. හොඳ දේශපාලකයොත් ඉන්නවා. දේශපාලකයන්ව පත් කරන්නේ ජනතාව. දෙසිය විසිපහම හොඳ නැත්නම් ජනතාවත් හොඳ නැති වෙන්න ඕනේ.

මුදල් එන්නේ නැව්වලින් නෙවේ. බැංකුවකින් බැංකුවකට එන්නේ. යම් කෙනෙක් සත්‍ය ප්‍රකාශ කළොත් එය පිළිගන්න. වරදක් වුණොත් භාරගත යුතුයි. ඒක මනුෂ්‍ය ස්වභාවය. රට ඉතාම භයානක තත්ත්වයක තියෙන්නේ.

මැතිවරණය සම්බන්ධවත් ප්‍රහේලිකාවන් මතුව තිබෙනවා. විසි වැනිදා පැවැත්විය නොහැකි බව තමයි බොහෝ දෙනාගේ අදහස වෙන්නේ. කොරෝනා අවසන් වූ පසු මැතිවරණයට දිනයක් නියම කරන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පාසැල් තව දුරටත් වසා දැමේ.. ඉන්ධන නෑ…

Shiran Viraj

තම පාසලේ ම සිසුවිය ගැබිනියක් කළ ගුරුවරයා

Shiran Viraj

කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව තවදුරටත් පහලට…

Shiran Viraj