28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

‘ගාමණී’ චිත්‍රප‍ටය තව අවුරුදු 50කින් පසුවත් බැලිය යුතු නිර්මාණයක්

ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ…
කලාව මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයන අනිර්වචනීය වස්තුවකි.  කලාකරුවා ජීවිතය විඳින අයුරු කලාවෙන්  සහෘදයාට පෙන්වා දෙයි. කලාකරුවා කලාවෙන්ම ජීවිතයේ ඇතැම් රසවත් නිර්මාණ ස්පර්ශ කළ අයුරු විමසා බැලීම රසවත්ය. එහෙයින් රසමතක ඔස්සේ  අපි කලාලොව රසවතුන්ගේ එකී මතක  මකරන්දය රසාලිප්ත කරමු.

මුතුකිරිල්ලී ටෙලිනාට්‍යයේ “අනුපම” ගේ චරිතයෙන් පුංචි තිරයට පැමිණි මේනක රාජපක්ෂ පසුගිය වසර 3ක පමණ කාලයක් රංගනයෙන් ඈත් වී සිටියා. යෞවනයේ හැඩකාර පෙම්වතාගේ චරිතය රඟ දක්වන මේනක නැවතත් ක්ලික්, අහස්මාලිගා වැනි ටෙලිසිත්තම් හරහා කරළියට පැමිණ තිබෙනවා. මඳ අස්වැසිල්ලකින් පසු ඔහුට හැඟුණ, දැනුණ ඔහුගේ සිත සොරාගත් නිර්මාණයක රසමතක ඔහු මෙලෙස අප සමඟ බෙදා හදාගත්තේය.

පුංචි තිරයේ හැඩකාර රංගන ශිල්පියෙකු වන මේනක රාජපක්ෂ මඳ විරාම‍යකින් පසු නැවතත් පුංචි තිරය හැඩකරන්නට පටන් ගෙන තිබේ. මේනකගේ ආධ්‍යාත්මයට ආමන්ත්‍රණය කරන ලද ඔහු රසවිදි අමතක නොවන නිර්මාණයක් පිළිබඳ අපි ඔහු සමඟ රසවත් කතාබහක යෙදුණෙමු. ඔහුගේ සිත්ගත් නිර්මාණයක් ලෙස ඔහු තෝරාගත්තේ සරත් වීරසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද ගාමණී චිත්‍රපටයයි. මේනක විසින් විඳි දහස් ගණන් නිර්මාණ අතුරින් මතකයේ රැඳුණු නිර්මාණ ගැන සනිටුහන් කළේ මෙලෙසිනි.

“ඇත්තටම ගාමණි චිත්‍රපටය මගේ හදවතේ සහ මතකයේ බොහෝ ඉඩක් ගත් චිත්‍රපටයක් ඒ වගේම ඒ සිනමා නිර්මාණය මං හොඳින් වින්දා. ගාමණී චිත්‍රපටය ගැන කතා කරද්දී මට පළමුවෙන් මතකයට නැගෙන චරිතය සාජන් රණසිංහය. ඒ චරිතයේ තිබෙන තාත්වික රංගනය අතිවිශිෂ්ටයි. ඒ වගේම ගම ආරක්ෂා කරන්න සැදී පැහැදිලා ඉන්න පිරිසගේ නායකත්වය විශිෂ්ටයි. මේ නිර්මාණ නරඹද්දී මට දැනුණ ප්‍රබලම හැගීම තමයි වීරත්වය. සිනමා නිර්මාණයේ දෙබස්වලින් පවා ඒ අභිමාන්විත හැඟීම දැනෙනවා. රටක් වශයෙන් අපි අසරණ වුණු, මරණ බියෙන් පෙළුණු කාලයක් තිබුණා. ඉතින් ඒ කාලසීමාව කොයි තරම් බිහිසුණුද කියන එකත්, අපි රැකෙන්න කොයිතරම් දේවල් කරනවාද. ජීවිත රැකගන්න ගමේ පුංචි මනුස්සයා පවා කොයි තරම් වෙහෙසනවද කියන දේ මේ නිර්මාණය පුරාම තිබුණා.

ගාමණි චිතපටයේ සිනමාත්මක බව පිළිබඳවත් මේනක අදහස් දැක්වුවා.

“චිත්‍රපටයේ පළමු මිනිත්තු කිහිපය තුළ ත්‍රස්තවාදයේ බිහිසුණු බව, එයින් ජනතාව විඳින අනේක විධ දුක් ගැහැට මරණ බිය ව‍ගේ දේවල් හොඳින්ම ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරනවා. ත්‍රස්තවාදය පිළිබඳ ඔවුන්ගේ ම්ලේච්ඡත්වය පිළිබඳව මෙන්ම යුද හමුදාව සහ ගම්වැසියන් එකතු වෙලා මේ මිලේච්ඡත්වයට මුහුණ දෙන ආකාරය විශිෂ්ට විදියට මේ නිර්මාණයෙන් ඉදිරපත් කරනවා. යුද හමුදාව සාමාන්‍ය ජනතාව කෙරෙහි දක්වන මනුස්සත්වය සිනමා නිර්මාණ තුළින් හොඳින්ම පේනවා. ගමේ තාරුණ්‍යයට මේ සිනමා නිර්මාණය තුළින් ලබාදෙන වීරත්වය එය ප්‍රේක්ෂකයාට සමීප කරන ආකාරය විශිෂ්ටයි. දක්ෂ අධ්‍යක්ෂවරයෙකුගේ ප්‍රායෝගික සිනමා භාවිතයෙන් ගාමණි චිත්‍රපටයෙන් මම දැක්කා. ගාමණි මඟින් වීරත්වය හැඟීම ලබාදෙනවා විතරක් නෙමෙයි. ඒ වාතාවරණය ඇතුළේ ස්වාභාවිකව ඒ තත්ත්වය ප්‍රතිනිර්මාණය කිරීමත් මං හිතන්නේ අධ්‍යක්ෂවරයාගේ ඒ සංකල්පයේ තියෙන විශේෂත්වයක්. චිත්‍රපටය වාණිජ රැල්ලක් වෙලා තියෙන යුගයක ගාමිණි වගේ සමාජමය කියවීමක් සහිත නිර්මාණයක් රසවිඳින්න අපට හැකි වීමත් ඇත්තටම සතුටක්.

රංගනය සම්බන්ධයෙන් කතා කරද්දි තාත්වික බව උපරිමයි. වෘත්තීය වශයෙන් අත්දැකීම් සහිත නළු නිළි පිරිසක් තමයි ගාමිණි සඳහා රංගනයෙන් දායක වන්නේ. සිනමා නිර්මාණයේ තිබෙන වටිනාකමට හෝ එහි අර්ථාත්වික බවට කිසිදු හානියක් නොකර ස්වාභාවික රංගනයක් තමයි මම ගාමණි චිත්‍රපටය පුරා දැක්කේ. මං හිතන්නේ ගාමණි මේ තරම් ප්‍රේක්ෂකයා වැලඳගන්න ප්‍රධාන හේතුවක් වුණේ මේ තාත්වික රංගනයම තමයි. පසුතල නිර්මාණය, කලා අධ්‍යක්ෂණය වගේ ක්ෂේත්‍ර තුළ ගාමණි චිත්‍රපටය අතිශය සාර්ථකයි කියල කියන්න පුළුවන්. අතිශය ස්වාභාවික පසුතල හා රූගත කිරීම් අතිශයම තාත්විකයි. ඒ වගේම ගාමිණ චිත්‍රපටයෙත් සමාජමය වශයෙන් ලබාදෙන පණිවිඩය මං හිතනවා අපිට අතිශය වැදගත් වසර 30 තිස්සේ අපි විදපු පීඩාව සහ අවිනිශ්චිතභාවය පිළිබඳව වගේම එයින් අපේ සමාජයට ඇති වුණු හානිය බරපතළයි. ඒ වගේ යුගයක් නැවත ඇති නොවේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් මං කියන්නේ ගාමණි චිත්‍රපටය තව අවුරුදු 50 කින් පසුවත් නැරඹිය යුතු විශිෂ්ට නිර්මාණයක් කියන එකයි මගේ අදහස. ඒ වගේම ගාමණි මං තදින්ම විදපු නිර්මාණයක්. දැනුන නිර්මාණයක් කියල කියන්න පුළුවන්.

රංගන ශිල්පියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය තුළ මේනක ලැබූ අත්දැකීම් මෙන්ම පොතපතින් හා සමාජය ඇසුරෙන් ඔහු ලබාගත් අත්දැකීම් බොහෝය. රසකාමී හද මනසක් හිමි කලාකරුවෙකු ලෙස කවියෙන්, ගීතයෙන්, සිනමාවෙන්, නවකතාවෙන් ආදී බොහෝ කලා මාධ්‍යයන්ගේ ඇසුර ලැබූ මේනක වරක් සිරස ලක්ෂපති තරගාවලියෙන්ද ජයග්‍රහණය ලබාගත්තේය. එහෙයින් මේනකගේ සිතෙහි තැන්පත් වූ නිර්මාණයක් ලෙස ගාමණී චිත්‍රපටයේ රසමතක ඔහු පෙළගැස්වූවේ මේ අයුරිනි.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

පාසැලේ තාප්පයක් කඩා වැටේ.. සිසුවියක් මරුට.. සිසුන් පහක් රෝහලේ..

Shiran Viraj

නවසීලන්ත-පාකිස්තාන තුන්වන තරගයේ අවසන් දිනය අදයි

Shiran Viraj

පාර්ලිමේන්තු ට්විටර් ගිණුමට “සයිබර් ප්‍රහාරයක්”

Shiran Viraj