mediahumanrights.lk
Entertainment Entertainment News News

තුන්ව­රක් නිර්දේශ වුණත් සම්මා­නය හිමි වූයේ මෙව­රයි රයි­ගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය උද­යන්ති කුල­තුංග

රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානයට මෙවර හිමිකම් කීවේ ජනප්‍රිය රංගන ශිල්පිනී උදයන්ති කුලතුංගයි. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේ කළ රංගනය වෙනුවෙනුයි උදයන්තිට එම සම්මානය හිමි වූයේ. අප ඇයට සුබ පතන්නට ඇමතූ විටත් ඇය සිටියේ ලැබුණු සම්මානය ගැන පුදුමයෙන්. ඒ ගැන ‘හිත පිරෙන හීන‘ විශේෂාංගයට උදයන්ති කීවේ මෙවැනි කතාවක්.

රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට සුබ පැතුම්…!

ස්තූතියි.

සම්මානයක් හිමි වීම ගැන සතුටුයිද?

සතුටුයි. තවම හිතාගන්නත් බෑ.!

මෙවර සම්මානයක් බලාපොරොත්තුවෙන්ද හිටියේ…?

කොහෙත්ම නෑ. කවදාවත් මම සම්මාන බලාගෙන රඟපාල නෑ.

ඒ කියන්නෙ සම්මානයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි උලෙළට සහභාගි වුණේ..

නැහැ. සම්මානයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. සහාය නිළියට මගේ නම නිර්දේශ වෙලා තිබුණා. නමුත් සම්මානයක් ලැබෙයි කියල හිතුවෙ නැහැ. මීට පෙර තුන් වරක් හොඳම සහාය නිළියට මගේ නම නිර්දේශ වුණා. එහෙත් සම්මානය ලැබුණේ නැහැ. ඉතින් මම හිතුවා මේ සැරෙත් එහෙම වෙයි කියලා. ඒකයි සම්මානය හිමිවීම ගැන තවම පුදුම.

‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේ කළ රංගනය නිසයි සම්මානය හිමිවුණේ..

ඔව්. එහි සුරංගි නමැති චරිතය තමයි මම නිරූපණය කෙළේ. රොෂාන් රවීන්ද්‍රගේ පෙම්වතිය. එහි අධ්‍යක්ෂ නාමල් ජයසිංහ අපේ රංගන හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා වගේම අපිට රඟපාන්නත් උපරිම නිදහස දුන්නා. ඉතාම ආසාවෙන් සහ උනන්දුවෙන් තමයි සහෝදරයා රඟපෑවේ. ඒ ටෙලි නාට්‍යයට සම්මාන කිහිපයක්ම හිමිවූයේ ඒක නිසයි .

‘සහෝදරයා‘ කරද්දී ලබපු අත්දැකීම් ගැනත් කියමු..

හරියටම රංගන පාසලකට ගියා වගේ අත්දැකීමක් ලැබුවා. අපි හැම වෙලේම අපිට ලැබුණු චරිත එක්ක ජීවත්වුණා. මුදල් මත නිර්මාණ බිහි වන කාලයක නිර්මාණයට වටිනාකමක් මෙන්ම කලාකරුවන්ට වටිනාකමක් දුන් හොඳ නිර්මාණයක්. එවැනි නිර්මාණයකට මාව සම්බන්ධ කරගත් ‘සහෝදරයා‘ අධ්‍යක්ෂ, නිෂ්පාදක ඇතුළු සියලු දෙනාටම ස්තූතියි.

උදයන්තිට සම්මානයක් හිමි වූයේ පළමුවැනි වතාවටද?

නැහැ. මීට පෙර සම්මාන පහක් ලැබී තිබෙනවා. නමුත් හොඳම සහාය නිළිය සම්මානය ලැබුණේ පළමු වතාවට.

ඒ කියන්නෙ හොඳම නිළිය සම්මානය ළඟටම ආවා කියන එක නේද?

අම්මෝ එහෙම අදහසක් නම් නෑ. හොඳම නිළිය සම්මානය මට හරි බරයි. ඒක නිසා ඒ ගැන හිතන්නෙ නෑ. සම්මාන ලැබුණත් නැතත් ලැබෙන හැම නිර්මාණයක්ම උනන්දුවෙන් සහ කැපවීමෙන් කරනවා.

නිර්මාණ භාරගන්නේ තෝරා බේරා ගෙනද?

මුලදි නම් තෝරා බේරාගෙන කළේ නැහැ. එහෙත් දැන්නම් අවුරුද්දකට ටෙලි නාට්‍ය දෙකක් හෝ තුනක් තමයි කරන්නේ. ඒකත් හොඳනම් විතරයි. පහුගිය අවුරුද්දටම කළේ ‘මිණි ගං දෑල ‘සහ ‘සහෝදරයා‘ පමණයි. මේ අවුරුද්දට තවම එකම හොඳ නිර්මාණයක්වත් ලැබුණේ නැහැ.

වෘත්තීය රංගන ශිල්පිනියකට වසරකට ටෙලි නාට්‍ය දෙකක් රඟපාලා ජීවත් වෙන්න පුළුවන්ද?

මුදල් ලැබෙන හොඳ නිර්මාණ තුනක් කළාම හොඳටම ඇති. ගොඩක් කළා කියල මුදල් ලැබෙන්නෙ නැති නම් වැඩක් නෑ. එහෙම අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. සමහර නිර්මාණ අපි උපරිම කැපවීමෙන් කළත් ටෙලිකාස්ට් වෙන්නෙ නෑ.

සිනමා රංගනය ගැන මොකද හිතෙන්නේ…?

සිනමාවට මම කැමැතියි. හොඳ සිනමා නිර්මාණ ලැබෙනවා නම් රඟපාන්න කැමැතියි. පසුගිය කාලයේ මා රඟ පෑ ‘සුභා තෙරණිය‘ සහ ‘භව තරණය‘ චිත්‍රපට දෙක එන්න තියෙනවා. නාට්‍ය හා රංග කලාව පිළිබඳව ඉගෙන ගෙන මම ක්ෂේත්‍රයට ආවෙ 2006 වසරෙදි. එදා ඉඳන් මේ දක්වා ටෙලි නාට්‍ය හැට පහක් සහ චිත්‍රපට නවයක රඟ පා තිබෙනවා.

පෙළවහක් කරගන්න අදහසක් නැද්ද?

මම පෙළවහක් කරගන්න එකක් නැහැ. දැන් නම් විවාහය ඕනෑ නෑ කියල හිතෙනවා. ආදරෙන් ඉන්න කපල්ස් දැක්කම සතුටුයි. ඒත් ඉතින් හැම කෙනකුටම හැම දේම උරුම නැහැ නේ. ඒ වගේ විවාහය කියන දෙය මට උරුම නැතුව ඇති.

අනාගත බලාපොරොත්තු…?

දිගටම රංගන ශිල්පිනියක් ලෙස වැඩ කරමින් රසිකයන් පිනවීම. ඒ වගේම අපේ හැකියාවෙන් වැඩක් ගන්න පුළුවන් හොඳ නිර්මාණ ලැබෙනවා නම් හොඳයි
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

ත‍්‍රීරෝද රථ රියදුරන් විදෙස් කාන්තාවන් අනවශ්‍ය පරිදි ස්පර්ශ කරනවා කියන කතාවට විරෝධයක්

Shiran Viraj

විශ්‍රාමික ග්‍රාම නිලධාරීන් 2000ක් නැවත සේවයට බඳවා ගන්නවා

Shiran Viraj

ජනපති හා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අතර හමුවක්

Shiran Viraj