mediahumanrights.lk
Local News News

යුද පීඩිතයන්ට සාධාරණයක් ඉටු නොවුන බව ආණ්ඩුව පිළිගනී

යුද්ධයෙන් පීඩාවට පත්වූවන් සඳහා යුක්තිය ඉටු කිරීමේදී ප්‍රමාදයක් සිදුවන බවට ජගත් කොමිසම ඇතුළු මානව හිමිකම් සංවිධාන ද, දෙමළ ප්‍රජාවද නගන චෝදනාවේ සත්‍යයක් ඇති බව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එක්සත් ජාතීන් හමුවේ පිළිගෙන තිබේ.
නිව්යෝර්ක් නුවර පැවැති සාමය ගොඩනැංවීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ කොමිසම හමුවේ රජයේ මුල් පෙලේ නිලධාරීන් දෙදෙනකුම මේ සතිය මුලදී ප්‍රකාශ කර ඇත්තේ සංක්‍රාන්තික යුක්තිය සාක්ෂාත් කර දීම සඳහා අවශ්‍ය වේගයෙන් ශ්‍රී ලංකාව ක්‍රියා කර නැති බවයි.
සාමය ගොඩනැගීම සඳහා වන කොමිසම යුද පීඩිත රටවල සාමය තහවුරු කිරීම සඳහා ආධාරකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2005 දී ස්ථාපිත කරන ලද අන්තර් රාජ්‍ය ආයතනයකි.
ප්‍රමාදයක් ඇතත් රජය කැපවෙනවා :
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ දෙවසරකට ඉහතදී ගිවිස ගත් පරිදි යුද අපරාධ ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාව පියවර නොගැනීම පසුගිය සැප්තැම්බරයේ ජිනීවා සමුළුවේදී මානව හිමිකම් කොමසාරිස් වරයාගේ දෝෂ දර්ශනයට ලක්විය.
මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් ප්‍රමුඛ මානව හිමිකම් සංවිධාන දිගටම කරන එම එම විවේචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සහ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ ප්‍රධානියා 20 සඳුදා පැවති නිව්යෝර්ක් සමුළුවේදී පවසා ඇත්තේ ප්‍රමාදයක් ඇතත් සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණ පිහිටුවීමට රජය කැපවී සිටින බවයි.
අපේක්ෂා කළ පමණට වඩා ශ්‍රී ලංකාව අත් කරගෙන තිබෙන ප්‍රගතිය මන්දගාමී වී ඇතැයි මේ මස මුලදී ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ දකුණු ආසියාව බාර ඉහල පෙලේ යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයක් නොසතුට පළකර තිබුනි.
ආණ්ඩුවේ කැපවීම:
යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය පමණට වඩා මන්දගාමී බව නිව්යෝර්ක් සාම සමුළුවේදී පිළිගත් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රසාද් කාරියවසම්, මාස 34ක් වැනි කෙටි කලක් තුල ගොස් ඇති දුර ගැන “විස්මපත්” වන බව පවසා තිබේ.
“කෙසේ වෙතත්, මෙයින් අදහස් වන්නේ සියල්ල හොඳින් සිදුවන බව හෝ ප්‍රතිසංස්කරණ වල වේගය සම්බන්ධයෙන් අප සතුටින් ඉන්නා බව නොවේ,” යි විදේශ ලේකම් වරයා පවසා තිබේ.
“කළ යුතු බොහෝ දේ ඉතිරිවී තිබේ. අපි කිසිසේත්ම සෑහීමකට පත්වී නොසිටිමු.”
යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් සෑහීමට පත් නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ රජයට කියා ඇත්තේ වරක්, දෙවරක් නොවේ.
මෑතදීම එම නොසතුට පළකළේ ශ්‍රී ලංකාවේ දෙසති නිල සංචාරයක් සඳහා පැමිණි යුද අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥ පැබ්ලෝ ද ග්‍රීෆ් ය.
යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් තමන් දෙවසරකට ඉහතදී ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඉදිරිපත් කළ නිර්දේශ වලින් බොහොමයක් ක්‍රියාවේ යොදවා නැති බව මෙයින් මසකට ඉහතදී ඔහු කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් 2015 ඔක්තෝබරයේදී ජගත් මානව හිමිකම් මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලද යෝජනාවෙන් කියවුනේ යුද්ධයේදී සිදුවූ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ නැවත සිදු නොවීම සහතික කිරීම සඳහා පියවර ගන්නා බවයි.
ඉටු නොකළ එම පොරොන්දු ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවේ රජයට තවත් අවුරුදු දෙකක් කල් දුන්නේ මේ අවුරුද්දේ මාර්තුවේය.
පැබ්ලෝ ද ග්‍රීෆ් ගේ පාඩම්:
මේ වසරේ “සෙමින්, එහෙත් නොසැලෙන” ප්‍රගතියක් අත් කරගෙන තිබෙන බව නිව්යෝර්ක් සමුළුවේදී ප්‍රකාශ කළ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ ප්‍රධානියා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂඥයා කළ විවේචනයද සිහිපත් කළේය.
“සංක්‍රාන්තික යුක්තිය සම්බන්ධයෙන් අපේ ගමන මන්දගාමී වැඩි බව අපිට බොහෝ විට හැඟී යනවා,” යි ප්‍රකාශ කළ කාර්යාංශ ප්‍රධානී මනෝ තිත්තවැල්ල තවදුරටත් ජාත්‍යන්තර සහාය ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
“සත්‍යය, යුක්තිය, හානිපූරණය හා පුනරාවර්තනය වැලැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රීෆ් පසුගිය මාසයේත් මේ බව අපට කියා දුන්නා. කෙසේ වෙතත්, අපි ඒ ගමනාන්තය කරා ලඟා වන අතර මේ ගමන යාමට ඔබේ ආධාරයත්, හවුල්කාරිත්වයත් අවශ්‍යයි.”
සංක්‍රාන්ති යුක්තිය ඉටු කිරීම සඳහා පිහිටවිය යුතු යාන්ත්‍රණ මාලාවේ පළමුවැන්න ලෙසින් අතුරුදහන් වුවන් සඳහා වන කාර්යාලය (OMP) මුළුමනින් ක්‍රියාත්මක වීම ලබන අවුරුද්දේ ආරම්භ කරන බවටද ඔහු සහතික වී තිබේ.
ආණ්ඩුවයි විපක්ෂයයි:
ආණ්ඩු පක්ෂයත්, සිංහල විපක්ෂයත් දේශපාලන වාසි තකා යුක්තිය ඉටු කිරීම පමා කරන බවට පැබ්ලෝ ද ග්‍රීෆ් ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර සංහිඳියා ක්‍රියාදාමය සම්බන්ධ ප්‍රචාරක වැඩපිළිවෙලක් සහිත අංග සම්පූර්ණ සැලසුමක් නැතිවීම ඊට දායක වී ඇති බව පෙන්වා දුන්නේය.
සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදාමය “පීලි පැන්නීමට කටයුතු කරන” ජාතිවාදී බලවේග වලට එරෙහිව සටන් වැදීම සඳහා ඉදිරි අනාගතයේ දී සන්නිවේදන වැඩපිළිවෙලක් ක්‍රියාවේ යෙදවීමට ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ ප්‍රධානියා සාමය ගොඩනැංවීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ කොමිසම හමුවේ සහතික විය.
සංක්‍රාන්තික යුක්තිය සම්බන්ධයෙන් “වැදගත් පාර්ශවකරුවකු” ලෙසින් හඳුන්වනු ලැබූ යුද හමුදාව සමග “සංවාදය ශක්තිමත් කිරීම” ඇතුළු සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදාමය සම්බන්ධයෙන් අතපසුවූ පියවර ගණනාවක් ඉටු කිරීමට කටයුතු කරන බව මනෝ තිත්තවැල්ල ප්‍රකාශ කළේය.
මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කොමිසම හමුවේ අවධාරණය කර ඇත්තේ අපනයන සහ සෘජු විදේශ ආයෝජන “ප්‍රධාන බලකණු” කරගත් පුද්ගලික අංශයෙන් මෙහෙයැවෙන වර්ධනයක් අත්පත් කරගැනීම ආර්ථික ක්ෂේත්‍රයේ රජයේ අපේක්ෂාව බවයි.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයි

Shiran Viraj

විපතට පත්වුවන් වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය ඉදිරිපත් වෙයි

Shiran Viraj

SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..

Shiran Viraj