28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

නාට්‍ය කලාවේ රස්තියාදු ගහලා 'කූඹියෝ' රහ කරපු කළණ

සමාජ ජාල තුළ පවා කූඹියෝ උන්මාදයක් ඇති වෙන තරමට කූඹියෝ ජනප්‍රිය වෙලා. මේ ගැන මොකද හිතෙන්නේ?
ඔව්. මේ ඉන්දියාව නෙවෙයිනේ. මේක ලංකාව. ඉතින් ලාංකිකයන්ට වෙනම හැඩයක් වගේම හොඳ රසිකත්වයක් තියෙනවා. නමුත් අද වෙලා තියෙන්නේ ලංකාවේ ගොඩක් රචකයෝ ඒගොල්ලන්ගේ පෞද්ගලික ඇරියස් රසිකයන්ගේ පිට පටවන එක. ඉතින් එහෙම කාලෙක ආපු කූඹියෝ වෙනුවෙන් මෙහෙම ප්‍රතිචාර ලැබෙන එක සාධාරණයි.
වේදිකා නාට්‍ය කලාවට ඇලුම් කරන ප්‍රේක්ෂකයන්ට ඔබ අමුතු චරිතයක් නොවුණට රටම ඔබව හඳුනාගත්තේ කූඹියෝ තුළින් කිව්වොත් මම හරිද?
මෙහෙමයි. මම ගොඩක් වැඩ කරලා තියෙන්නේ වේදිකාවෙනේ. ඉතින් ඔය කතාවේ වරදකුත් මම දකින්නේ නැහැ. කූඹියෝ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක අනෙක් නාට්‍ය වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාරවලට වඩා සාපේක්ෂව වැඩි වශයෙන් මං ගැන කතා වෙනවා කියලා මටත් දැනිලා තියෙනවා.
ඔබ මුලින්ම වේදිකාවට පය තියපු හැටි මතක් කළොත්?
ඇත්තටම මම මුලින්ම පය තියන්නේ පිළියන්දල මැදි විදුහලේ වේදිකාවට. ප්‍රේමකුමාර කරුණාරත්න ගුරුතුමා තමයි ඒ වේදිකාව මත මගේ රංගනය ගොඩනඟන්නේ. පසුකාලීනව ධර්මප්‍රිය ඩයස් තමයි මාව පාසලෙන් එළියේ නාට්‍ය වැඩවලට සම්බන්ධ කරගන්නේ. එතැනින් පස්සේ නම් වේදිකාවට ආදරේ කරන අපූරු පුද්ගලයෝ බොහෝ දෙනෙක් එක්ක නාට්‍ය කලාවේ රස්තියාදු ගහන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් කට්ට කාගෙන අදටත් මම වේදිකාව තුළ ජීවත් වෙනවා.
කළණ ගුණසේකරට, ප්‍රියන්ත මහඋල්පතගම වෙන්න අවස්ථාව උදා වුණේ කොහොමද?
කූඹියෝ අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න තමයි මට මේ වෙනුවෙන් කතා කරන්නේ. ලක්මාල් එක්ක මම කලින් වැඩ කරලත් තියෙනවා. අපි දෙන්නා හොඳ මිත්‍රයෝ. ඉතින් මෙහෙම වැඩක් තියෙනව කිව්වම මට ලොකු සතුටක් දැනුණා ඒ කණ්ඩායමත් එක්ක ආයෙත් වැඩ කරන්න ලැබෙන එක ගැන. පස්සේ ලක්මාල් සහ දමිත ලියලා තිබුණු පිටපත කියෙව්වම ඒ ආතල් එක දෙගුණ තෙගුණ වුණා. ඒ ආපු ගැම්මත් එක්කම තමයි මම කූඹියෝ වෙනුවෙන් සම්බන්ධ වෙන්නේ.
ජෙහාන්, ප්‍රියන්ත සංකලනය ගැන හරි හරියට කතා වෙනවා. ඔබ සහ තුමිඳු අතර තිබුණු සහයෝගය, අවබෝධයත් ඒකට බලපාන්න ඇති නේද?
ඇත්තටම මම පාසල් යන කාලෙදි තමයි තුමිඳුගෙ අරුන්දතී වේදිකා නාට්‍ය බලන්නේ. පස්සෙ කාලෙක තුමිඳු කරපු රයිනෝසිරස් නාට්‍යයටත් මට රංගන ශිල්පියෙක් විදියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එදා ඉඳන් අද වෙනකන්ම ඔහු මගෙ හොඳ මිතුරෙක්. ඉතින් ඒ විදියට අපි අතරේ ගොඩනැඟුණු අවබෝධයත් මේ රංගනයට බලපාන්න ඇති කියලා මම හිතනවා. ඒ නැතත් තුමිඳු කියන්නේ රංගන ශිල්පියෙක් විදියට අනෙකාට උපරිම වශයෙන් සහයෝගයක් ලබා දෙන රංගනයේ අති දක්ෂයෙක්.
වේදිකාව තුළ කැපී පෙනෙන චරිතයක් වුණු කළණ පුංචි තිරයේ වැඩිය පේන්න නැහැනේ?
ඇත්තටම ඒකට හේතුව මගෙ කම්මැළිකම. අද ගොඩක් තියෙන්නේ දීර්ඝ නාට්‍ය. ඉතින් එහෙම අවුරුදු ගණන් එක චරිතයක් අස්සෙම ඉන්න මට කම්මැළියි. ඒ ඇරුණාම ටෙලිනාට්‍ය වෙනුවෙන් වුණත් ලැබෙන පිටපත කියවද්දී කම්මැළි හිතුණොත් මම යන්නේ නැහැ. හැබැයි පිටපත කියවනකොට හිතට, ගටක් ආවොත් බල්ටි ගහගෙන ගිහින් හරි වැඩේ කරලා එනවා.
කළණ ගුණසේකර කියන්නේ වෘත්තීයමය රංගන ශිල්පියෙක්ද?
ඔව්, මම එහෙම හිතන් ඉන්නවා. හැබැයි ලෝකයේ වෘත්තීයමය රංගන ශිල්පීන්ට ලැබෙන මිල සහ ඔවුන්ගේ ජීවන පරිසරය දිහා බලද්දී මට වෙලාවකට හිනත් යනවා අපි ගැනම. කොටින්ම මෙහෙ චැනල්වලින් ටෙලිනාට්‍ය බලන කෙනාට ගෙවනවා රංගන ශිල්පියාට වගේ තුන් හතර ගුණයක්. නළුවා කියන්නේ අනෙකාට රසයක් ලබාදීම වෙනුවෙන් හැම මොහොතකම තමන්ගේ මානසිකත්වය ඩැමේජ් කරගන්න කෙනෙක්. නමුත් ඒ වෙනුවෙන් වටිනාකමක් දෙන්න තාමත් අපේ රට සූදානම් බවක් පේන්න නැහැ.
වේදිකාව, සිනමාව වගේම ටෙලිනාට්‍ය  තුළත් වැඩකටයුතු කරන කෙනෙක් විදියට මේ ක්ෂේත්‍ර තුන ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?
මේ තුනම හරියට භාෂාවන් තුනක් වගේ. විෂයන් තුනම එකිනෙකට හරි අපූරුවට සම්බන්ධ වෙලයි තියෙන්නේ. ප්‍රකාශන මාධ්‍ය විදියට මේ තුනම ලොකු කාර්යභාරයක් සිදු කරනවා. නමුත් මේ වෙද්දි ලංකාවෙ ටෙලිනාට්‍ය ගැන නම් මගේ එතරම් පැහැදීමක් නැහැ. නමුත් වේදිකාව සහ සිනමාව කියන්නේ නම් තවදුරටත් ලංකාව ඇතුළේ කලාව වපුරන්න හොඳ අවකාශයක්.
වේදිකාව කියන්නේ කට්ටක් කියලා දැන දැනත් ඔබ තාමත් වේදිකාව අතහැරියේ නැත්තේ ඇයි?
කලාව, වේදිකාව විතරක් නෙවෙයි මේ ආර්ථික සහ සමාජ රාමුව ඇතුළේ මනුෂ්‍යයෙක් විදියට ජීවිතය ගෙනියනව කියන්නෙත් එක්තරා විදියක කට්ටක් සහ හෙණ ගේමක්. ඉතින් කට්ටක් කියලා දැන දැනත් අපි ජීවිතේ අත්හරින්න හිතනවද? නැහැනේ.
ඉදිරියේදී කළණව දැකගන්න පුළුවන් නිර්මාණ ගැනත් මතක් කරමු?
ඔව්. මේ වෙද්දී ජගත් මනුවර්ණ, මාලක දේවප්‍රිය, මාදව පතිරණ, සුජීව ප්‍රියලාල් වගේ තරුණ සිනමාකරුවන් පිරිසකගේ අපූරු නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. ඉතින් චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. වේදිකාව පැත්තෙන් නම් ‘ලස්සන මුර්ගයා’ එක්ක තමයි මේ දවස්වල වැඩකටයුතු කරන්නේ.

(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

Related posts

විදේශ රැකියා කියා ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදාවට බලෙන් බන්දන්න යයි…

Shiran Viraj

මාර්තු උද්ධමනය සියයට 8.6 දක්වා ඉහළට

Shiran Viraj

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව 3වැනි වරටත් දඩ

Shiran Viraj