2025-12-14
mediahumanrights.lk
Local NewsNewsPolitical

ආර්ථිකය සවි කරන්න කුඩා පරිමාණ කර්මාන්තශාලා 150 ක්

ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් දිවයින පුරා කුඩා පරිමාණ ඇඟළුම් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලා 150ක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මේ අනුව දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මෙම කර්මාන්තශාලා පිහිටුවිමට සැළසුම් කර ඇති බවත්, දැනට කර්මාන්තශාලා 50ක් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර සෙසු කර්මාන්තශාලා 100 ද මෙම වර්ෂය අවසන්වන විට නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.
අම්පාර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ ඇඟළුම් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරම්භ කිරීමේ සමාරම්භක උළෙලට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැළපෙන සේ ඇඟළුම් ආශ්‍රිත නිෂ්පාදන සිදුකිරීම පිළිබඳව  මාස 6 ක මූලික පුහුණුවක් ලබාදීමෙන් පසුව තෝරාගත් පුහුණුලාභීන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායක කර ගැනීමට නියමිතයි.
එක් කර්මාන්ත ශාලාවකට ප්‍රතිලාභීන් 40 දෙනෙක් තෝරාගන්නා අතර ඔවුන් පුහුණු කිරීම සඳහා පුහුණුව ලත් උපදේශකයෙකු බැගින් පත් කර තිබේ.
ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී අවතැන්වූ පවුල්, යුද වැන්දඹුවන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ප්‍රතිලාභීන් පුහුණු කිරීමේ දී ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ජාතික ශිල්ප සභාව යන ආයතන මඟින් සම්පත් දායකත්වය ලබා දෙයි.
මෙම නිෂ්පාදන කර්මාන්තශාලා මඟින් සිදුකරන නිෂ්පාදන දේශීය ගැණුම්කරුවන් වෙත අලෙවි කිරීමට හා මහාපරිමාණ අපනයනකරුවන්ගේ උප කොන්ත්‍රාත් ලෙස  ඇණවුම් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමටද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වී ක්‍රියා කරනු ඇත.
මෙම ඇඟළුම් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලා මඟින් ග්‍රාමීය කාන්තාවන් සඳහා ඍජු රැකියා  6000ක් ලබාදෙන අතර මෙම ව්‍යාපෘතිය සඳහා  රුපියල් මිලියන 287.5 ක් වෙන් කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

මේ ආණ්ඩුව ජනතාව විසින් ආරක්‍ෂා කරනවා..

Shiran Viraj

මෛත‍්‍රීත් පවුල් දේශපාලනයට.. පුත් දහම් ඉදිරි මැතිවරණයට..

Shiran Viraj

කිරී, සම්බා උග‍්‍ර හිගයක්.. අලෙවිය පස්ස දොරෙන් මිතුරන් අතරේ පමණයි.. කිලෝව 320යි..

Shiran Viraj
Translate »