28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

කොළඹ ගිලා බැසීමේ අවදානමක්- මේ ගැන ඔබ දැනුවත්ද?

කොළඹ නගරය තුළ සහ ඒ අවට ජනාකීර්ණ ප්‍රදේශවල අවිධිමත් ලෙස තට්ටු ගණනාවකින් සමන්විත දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීම හේතුවෙන් එම ප්‍රදේශවල නිවාස සහ රජයේ ගොඩනැඟිලි විනාශ වීමේ බරපතළ අනතුරක් ඇතැයි ඉදිකිරීම් ඉංජිනේරුවෝ පෙන්වා දෙති.
ඊට හේතු වී ඇත්තේ දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීමට පාදම ශක්තිමත් කිරීම සඳහා පයිල් (Pile) ගැසීමේ දී සිදු වන කම්පන තත්ත්වය බව ද අනාවරණය වේ. මේ වන විටත් කොළඹ සහ ඒ අවට සාමාන්‍ය නිවාස රැසක බිත්ති පුපුරා ගොස් තිබේ. ඇතැම් ප්‍රදේශවල නිවාස ගිලා බැසීමේ අවදානමක් මතුව ඇති බව ද දැනගන්නට ඇත. වසර ගණනාවක් තිස්සේ ඇති කරනු ලබන කම්පන තත්ත්ව හේතුවෙන් තවත් වසර කිහිපයක දී කොළඹ නගරය තැනින් තැන ගිලා බසිනු ඇති බවට ද ඉදිකිරීම් ඉංජිනේරුවෝ පෙන්වා දෙති.
මේ අතර කොළඹ 10, දෙමටගොඩ, මාලිගාකන්ද පාරේ පිහිටි ක්ලිෆ්ටන් බාලිකා විදුහල ආසන්නයේ ඉදිවන දැවැන්ත තට්ටු ගණනාවකින් සමන්විත ගොඩනැඟිල්ලේ Pile ගැසීමේ දී ඇති වූ දෙදරීම හේතුවෙන් එම විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ලක් ඇතුළු පාසල් ගොඩනැඟිලි කිහිපයක බිත්ති පුපුරා ගොස් තිබේ. එම තත්ත්වය හමුවේ පාසල පැවැත්වෙන දිනක මෙම ගොඩනැඟිලි කඩා වැටුණහොත් මීතොටමුල්ල ඛේදවාචකයට වඩා බිහිසුණු ඛේදවාචකයක් ඇති විය හැකි බව එම ගොඩනැඟිලි පරීක්ෂා කළ ඉංජිනේරුවන් අදාළ බලධාරීන්ට පෙන්වා දී ඇත. බිත්ති පුපුරා ඇති පාසල් ගොඩනැඟිලි සම්බන්ධව සහ ඒ ආසන්නයේ අවිධිමත් ලෙස ඉදිකරනු ලබන ඉදිකිරීම් සම්බන්ධයෙන් ක්ලිෆ්ටන් බාලිකාවේ විදුහල්පතිනිය නාගරික සංවර්ධන අධිකාරියට ද පැමිණිලි කර ඇත. විදුහල්පතිනියගේ පැමිණිල්ල හමුවේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දැනුම් දී ඇත්තේ බාලිකාවේ ඉගෙනුම ලබන දරුවන් වහාම වෙනත් පාසලකට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසයි. අවදානම්සහගත තත්ත්වය හමුවේ අවුරුදු නිවාඩුවෙන් පසුව යළි පාසල ආරම්භ කිරීමේ ගැටලුවක් මතු වන අතර විදුහල්පතිනියගේ පැමිණිල්ල සම්බන්ධයෙන් වගකිවයුතු කිසිවකු ඉදිරිපත් වී නැත.
පෞද්ගලික සමාගම විසින් කොළඹ 07, වෝඞ් ප්ලේස්හි ඉදිකරනු ලබන දැවැන්ත ගොඩනැඟිල්ලක් හේතුවෙන් ඒ ආසන්නයේ ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා වාසය කළ නිවසේ බිත්ති පුපුරා ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් ද නාගරික සංවර්ධන අධිකාරියට කරන ලද පැමිණිලිවලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. කොළඹ කලාපයේ ඉදිකරනු ලබන අවිධිමත් දැවැන්ත ගොඩනැඟිලි හේතුවෙන් කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කුරුඳුවත්ත, බොරැල්ල, කොල්ලුපිටිය, බම්බලපිටිය, කිරුළපන, වැල්ලවත්ත, නාරාහේන්පිට යන ප්‍රදේශවල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවත් එම ප්‍රදේශවල සාමාන්‍ය ජනාවාස විනාශ වීමට ඉඩ ඇති බවත් ඉදිකිරීම් ඉංජිනේරුවෝ පෙන්වා දෙති.
කොළඹ කොටුව ආසන්නයේ ඉදිකරනු ලබන වරාය නගරය සඳහා මහාද්වීපික තටකයේ වැලි පර ඉවත් කිරීම ද කොළඹ නගරය ගිලා බැසීමට හේතු විය හැකි බව පෙන්වා දෙන ඉදිකිරීම් ඉංජිනේරුවෝ එම තත්ත්වයත් අවිධිමත් ලෙස දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා Pile කිරීමේ දී ඇති කරන කම්පන තත්ත්වයත් හේතුවෙන් නුදුරේදීම කොළඹට මහා විනාශයක් කැඳවනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
මේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු පවසා සිටියේ 2009 වසරේ දී අනුමත කර ඇති කොළඹ කලාප සැලසුම (Zone Plan)හේතුවෙන් මෙවැනි අර්බුදයක් මතුව ඇති බවයි. මේ නිසා දැවැන්ත මහල් ගොඩනැඟිලි සඳහා මින් මතු අනුමැතිය ලබා දීමේ දී අලුතින් කලාප සැලසුමක් (Zone Plan)හඳුන්වා දීමට ආණ්ඩුව පියවර ගන්නා බව ද ඔහු කීවේය.
කොළඹ කලාපයේ දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීමේ දී Pile කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් බලපත්‍ර ලබාගත යුතු අතර එහි සඳහන් වන්නේ දහවල් කාලයට ඩෙසිබල් 75 ක සීමාවට යටත්ව එම කටයුතු සිදු කළ යුතු බවය. රාත්‍රී කාලයේ දී නම් ඩෙසිබල් 50 ක ධාරිතාවකට එම කටයුතු සිදු කළ යුතුය. බලපත්‍ර ලබාගත් ඉදිකිරීම් සමාගම් එම නිර්ණායක උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් අවදානම්සහගත තත්ත්වය මතුව තිබේ. කොළඹ 10, දෙමටගොඩ, මාලිගාකන්ද පාරේ පිහිටි ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලයේ බිත්ති පුපුරා යාමෙන් මතුව ඇති අවදානම්සහගත තත්ත්වය පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතාගෙන් අප කළ විමසීමක දී හෙතෙම සඳහන් කළේ අදාළ ඉදිකිරීම් සමාගම පාසල් ගොඩනැඟිලි ඉදිකිරීමට එකඟත්වය පළකර ඇති බවයි. විදුහල්පතිනියගේ පැමිණිල්ලෙන් පසුව දෙපාර්ශ්වය කැඳවා ඊට අනුමැතිය ලබාගත් බවත් ඒ සඳහා වන ගිවිසුම නාගරික සංවර්ධන අධිකාරියේ දී සිදු කිරීමට නියමිත බවත් ඔහු පැවසීය. දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීමේ දී නව ක්‍රමවේදයන්ට අනුව Pile කිරීම කළ හැකි බවත් නාගරික සංවර්ධන අධිකාරිය මින් මතු ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගිනි අවි ගන්න පෝලිමේ…

Shiran Viraj

වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන් යානයක් දිවයිනට

Shiran Viraj

අලූත් ව්‍යවස්ථා මංගල සමළුවේදී චන්ද්‍රිකාට හූ තියයි… හූ තැබූ වියපත් මිනිසා තගාලා උස්සා එලියට විසි කරති..[Video]

Shiran Viraj