mediahumanrights.lk
Local News News Political

මම කලේ දුෂිත ක්‍රියාකාරකම් නවතාලීම මිස මාධ්‍ය සංදර්ශනයක් නොවේ!

“වන්ෂොට්ගේ රෑ ඩැනියෙල් – දවල් මිගෙල් ගේම්” යන ශීර්ෂ පාඨය යටතේ ඊයේ (02) අප වෙබ් අඩවිය විසින් පලකළ පුවත සම්බන්ධයෙන් සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් පිලිතුරු ලිපියක් එවා තිබේ. ‘පිලිතුරු දීමේ අයිතිය’ පිළිගන්නා අප එය කිසිදු සංස්කරණයකින් තොරව අප පහතින් පල කරන්නෙමු.
ප්‍රධාන කර්තෘ
ලංකා නිවුස් වෙබ්,
“වන්ෂොට්ගේ රෑ ඩැනියෙල් – දවල් මිගෙල් ගේම්” ශීර්ෂය සහිතව ඔබගේ පුවත් වෙබ් අඩෙවියේ පලකරන ලද ලිපිය මගින් සනාථ නොකළ සාවද්‍ය තොරතුරුද මහජනයා වෙත ඉදිරිපත් කොට ඇත. කුමන හෝ පාර්ශවයක් විසින් ලබාදෙන්නා වූ සාවද්‍ය තොරතුරු කිසිදු සොයාබැලීමකින් තොරව ප්‍රසිද්ධියට පත් කිරීම ජනමාධ්‍ය සදාචාරයන්ට පටහැනි ක්‍රියාවකි.
එම සාවද්‍ය තොරතුරු මාගේ කීර්තිනාමයට මෙන්ම රජයේ ප්‍රතිපත්තිවල ගෞරවයටද හානිකර වන බැවින් ඒ පිළිබඳව මාගේ විශ්ලේෂණය මෙයින් ප්‍රකාශ කරන අතර ඒ සඳහාද සමාන ප්‍රමුඛතාවයකින් යුතුව ඔබගේ වෙබ් අඩෙවිය මගින් ප්‍රසිද්ධියක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරමි.
මාගේ ප්‍රතිවිරුද්ධ දේශපාලඥයන් හා ඔවුන්ගේ හෙන්චයියන් විසින් පරිසරයට හානිකර වන පරිදි ගල්කොරි හා පස් කැපීම් පරිශ්‍ර දූෂිත ව්‍යාපෘති ලෙස පවත්වාගෙන යන බව විෂයගත ලිපිය මගින් ඉතා නිවැරදි ලෙස පලකර ඇති නමුත් එවා මාගේ පාක්ෂිකයින්ට ලබාදීම මාගේ අභිප්‍රාය ලෙස දැක්වීම විශාල අසාධාරණයකි. මන්දයත්, පරිසර අමාත්‍යධූරයද හොබවන අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ආශිර්වාදය සහිතව මවිසින් ගෙනයන පරිසර දූෂණ විරෝධී ක්‍රියාකාරකම් තුල ප්‍රතිපාක්ෂිකයින්ගේ පමණක් නොව රජයට සම්බන්ධ පාර්ශවයන්ගේද දූෂිත ව්‍යාපාරයන් නවතාලීමට මා ක්‍රියා කොට ඇති නිසාය.
එක්සත් ජාතික පක්ෂයේ මීරීගම ආසනයේ ප්‍රධාන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදේන විජේරත්න මහතාට අයත් කොටදෙණියාව පොලිස් වසමේ වරාදල ග්‍රාමයේ පිහිටි ඉඩමක වැලි නිස්සාරණය සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් බලපත්‍ර ලබාගෙන කැනීම් කොන්දේසී උල්ලංඝණය කරමින් මහා පරිමාණයෙන් පරිසරයට හානිවන අයුරින් කැනීම් කිරීම සම්බන්ධයෙන් හෙලිදරව් කොට එම කටයුතු නවත්වාලීමට කටයුතු කිරීම ඊට එක් උදාහරණයකි.
තවද, ඔබගේ ලිපිය සමග පල කොට තිබූ ඡායාරූපයකින් මාගේ සමීපතමයෙකු බවට හුවා දැක්වීමට උත්සාහ කරන ලද “වසන්ත‍ දංගල්ල” නොහොත් ඩී.ඩබ්.එල්. අප්පුහාමි යන අය විසින් IML/B/HO/10124 අංකය යටතේ කැනීම් බලපත්‍ර ලබාගෙන, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 58, නැගෙනහිර – ඉහල මඩම්පැල්ල ප්‍රදේශයේ පරිසරයට හානිකර අයුරින් පවත්වාගෙන ගිය බොරළු පස් කැපීමේ ව්‍යාපාරික කටයුතු නවත්වාලීමට කටයුතු කරන ලද්දේද මවිසින්මය. එම ව්‍යාපාරිකයා පොදු විපක්ෂය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මෑණියන්ගේ එක්කුස උපන් සහෝදරයාද වේ.
ඒ සමගම IML/B/HO/9454 අංකයෙන් කැනීම් බලපත්‍රය යටතේ පරිසරයට හානි කරමින්, කොන්දේසි පසෙකලමින් ඉහත කී මන්ත්‍රීවරයාගේම සහෝදර එච්.එච්.ඒ.ඩී.ටී. නයනප්‍රිය නමැත්තා විසින් ඉහත කී ප්‍රදේශයේම පවත්වාගෙන ගිය බොරළු කැපීමේ කටයුතුද නවත්වාලීමට හැකිවිය. දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය සමග උණුසුම් දුරකථන සංවාදයකට යෑමට මා හට සිදුවූයේ එහිදීය.
ඒ සම්බන්ධ තොරතුරු ඇතුලත් ලියවිලිද මේ සමග ඉදිරිපත් කරමි.
එම කටයුතු පක්ෂ බේදයකින් තොරව හුදු ආර්ථික වාසිය වෙනුවෙන් පරිසරය වනසන දූෂිතයින්ට එරෙහිව ඔවුන්ගේ විනාශකාරී ක්‍රියාකරකම් නවතාලීමට ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම අනුව ගන්නා ලද උත්සහායන් මිස මාධ්‍ය සංදර්ශන නොවන බව අවධාරණය කළ යුතුය.
එකී උත්සාහයන් තුලින් ප්‍රතිලාභ ලැබුණේ ප්‍රදේශවාසීන්ට වන නමුත් මා එහිදී ජාවාරම්කරුවන්ගේ තර්ජනයන්ට ලක්වීය. 2017.02.28 දින දිවුලපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මා වෙත මරණීය තර්ජන එල්ල වීමෙන් එම තත්වය මනාව පැහැඳිලි වේ.
ලිපිය සමග පලකර ඇති තවත් ඡායාරූපයකින් ගල් කොරියක දර්ශනයක් දක්වා ඇති අතර, එය දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝපියාවත්ත ග්‍රාමයේ පිහිටි දඹුවකන්ද කැනීම් පරිශ්‍රයේ නීතිවිරෝධි කළුගල් කැඩීම සම්බන්ධයෙන් මවිසින් අතිගරු ජනාධිපතිතුමන් දැනුවත් කිරීමෙන් පසුව කැඳවන ලද පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර ලබාගත් ඡායාරූපයකි. එකී කළුගල් කැනීම් පරිශ්‍රයේ පැවැති අක්‍රමිකතා සම්බන්ධයෙන් මවිසින් අතිගරු ජනාධිපතිතුමන් වෙත යවන ලද 2016.02.25 දිනැති ලිපියේ පිටපතක්ද මේ සමග ඔබගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරමි.
සංවර්ධන කටයුතු සඳහා කළුගල්, වැලි, මැටි, බොරළු පස් ආදී ඛණිජ සම්පත් ප්‍රයෝජනයට ගත යුතුවන නමුත් පරිසර සමබරතාවයන් ආරක්ෂා වන පරිදි සීමා සහිතව එම කටයුතු කිරීම, පරිසර සංරක්ෂණයට මෙන්ම එකී කර්මාන්තවල තිරසාර පැවැත්මටද අතිශයින් වැදගත් වේ. එබැවින් මාගේ උත්සාහය එම කර්මාන්තයන් හෝ සංවර්ධන කටයුතු සඳහා එම සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම නවත්වාලීම පිණිස නොව කෙටිකාලීන ආර්ථික වාසි වෙනුවෙන් සීමා රහිතව එම ඛණිජ සම්පත් සූරාකෑම නවතා අනාගතය වෙනුවෙන් අප සතු පරිසර සම්පත ආරක්ෂා කරලීම සඳහාම වන බව අවධාරණය කරමි.
එබැවින් විධිමත්ව පවත්වාගෙන යන හානිකර නොවූ ව්‍යාපාර කටයුතු පිළිබඳව මා කිසිසේත් විරෝධයක් නොදක්වන බවත් සමාජ හිතකාමී බව හා පරිසර හිතකාමී බව යන කොන්දේසීන්ට යටත්ව සහාය ලබාදීම ප්‍රතික්ෂේප නොකරන බවත් කිව යුතුය. ඒ අනුව විෂයගත ලිපිය සමග ඵල කොට ඇති මවිසින් නිකුත් කරන ලද ලිපි වලින් පරිසරයට හානිකර කිසිදු කටයුත්තකට සහය දී නොමැති බවද පැහැඳිලි කළ යුතුය.

2015.10.01 දිනෙන් ගරු කබීර් හෂීම් අමාත්‍යතුමා වෙත යවන ලද ලිපියෙන් කළුගල් කැනීමේ සෘජුව නොයෙදෙන, එම කර්මාන්තය ආශ්‍රිතව තම ජීවිකාව කරගෙන යන පාක්ෂිකයින් පිරිසකට ප්‍රවේශ මාර්ගයක් සඳහා බදු පදනම මත ඉඩමක් ලබාගැනීමට සහය වන ලෙස ඉල්ලීම මගින් ජාවාරම්කාර හෙන්චයියන්ට උදව් ලබාදීමක් සිදුකර නොමැති බව, එම ලිපිය සැලකිල්ලෙන් කියවීමෙන් අවබෝධ වනු ඇත. තවද 2016.11.18 දිනැතිව දිස්ත්‍රික් ලේකම්වරියක් වෙත යැවුන ලිපියක් ගැන සඳහන් වුවද පුවත් ලිපිය සමග පලකොට ඇත්තේ දිස්ත්‍රික් ලේකම්තුමා වෙත යවන ලද ලිපියක පිටපතකි. එහිදීද ප්‍රතිලාභියා වන්නේ මාගේ සමීපතමයකු ලෙස නම් කරන ලද වසන්ත දංගල්ල නමැත්තාමය. එකී ලිපිය මගින් විධිමත්ව පවත්වාගෙන යන කටයුත්තකට සහය ලබාදෙන ලෙස ඉල්ලීමෙන් සහ ඔහු විසින්ම අවිධිමත්ව සිදුකරන කටයුත්තකට එරෙහිව ක්‍රියා කිරීමෙන් මා පක්ෂග්‍රාහීව ක්‍රියා නොකරන බවත් යම් කටයුත්තක විධිමත් හෝ අවිධිමත් බව පිළිබඳව පමණක් සලකන බවත් පැහැඳිලි වනු ඇතැයි අපේක්ෂා කරමි.
විෂයගත පුවත් ලිපියෙහි මා ප්‍රතිවිරුද්ධ දේශපාලඥයන්ගේ දූෂණයට, වංචාවට, ජාවාරම්වලට පමණක් එරෙහි වන දෙ‍බිඩි චරිතයක් බවට හුවා දැක්වීමට උත්සහ දරණමුත්, පසුගිය වකවානුවේ ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරුන් සම්බන්ධ යැයි දැඩි කථාබහට ලක්වුණු ඇවන්ගාර්ඩ් ගනුදෙනුව, බැඳුම්කර අක්‍රමිකතා, ගම්පහ දිස්ත්‍රික්කයේ මංතීරු විනාශ කිරීමේ සිද්ධිය, කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගල පැහැරගැනීම් ආදිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යධූරයක් දරමින් සිටියදීම ප්‍රසිද්ධියේ ජනතාවාදීව එම අක්‍රමිකතා විවේචනය කිරීම පිළිබඳව ඔබ මෙන්ම ඔබගේ වෙබ් අඩවියේ පාඨකයින්ද හොඳින් දන්නා බැවින් එකී උත්සහය ඵලරහිත වනු ඇත.
ඡන්ද දායකයින් සුරංගනා කතාබහට රැවටෙන බව පලකිරීමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුල මහජන නියෝජිතයින් පත් කරගැනීම සඳහා ක්‍රියාත්මක සර්වජන ඡන්ද බලය අවඥාවට ලක්කර ඇති, විෂයගත ලිපියේ කර්තෘවරයා රුපියල් ලක්ෂ 100ක මංකොල්ලයක් සම්බන්ධයෙන්ද හරිහැටි තොරතුරු නොදැන අසත්‍ය තොරතුරු වාර්තා කොට ඇති බවද පෙනේ. පුවත් ලිපියෙහි පලකර ඇති පරිදිම එම සිද්ධියට අදාලව අධිකරණ කටයුතු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ඉදිරියේදී ඵල කරනු ඇතැයි අපේක්ෂා කරමි.
වත්මන් යහපාලනයද පරණ පාරේම ගමන් කරන බව දක්වමින් පසුගිය රජයේ අඩුපාඩු සැඟවීමට උත්සාහ නොකිරීම යහපත් වුවත්, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම, තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම ආදිය තුලින් ජනතාවාදී දේශපාලනයක් රටතුල ගොඩනැගීමට වත්මන් රජය දරණ උත්සාහය අගය නොකොට හුදු විවේචනය පිණිසම වාර්තාකරණයේ යෙදීම වගකිවයුතු මාධ්‍ය ආයතනයක් විසින් නොකළ යුත්තක් බව නැවත වරක් සිහිගන්වමි.
රන්ජන් රාමනායක (පා.ම.)
සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය







කතෘ අයිතිය – ලංකා නිවුස් වෙබ්.නෙට්

Related posts

S&P ශ‍්‍රී ලංකාව ‘පෙර බංකොලොත්’ තත්වයට දමයි.. මාසයකින් බංකොලොත් බවත් කියයි..

Shiran Viraj

මහ වැසි මැද විශාල පිරිසක් ශ‍්‍රීපාද වන්දනාවේ…

Shiran Viraj

කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු IDH හිදී මිය යයි…

Shiran Viraj