28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

සමනලීට සුචරිතවාදී ප්‍රතිරූපයක්‌ ගොඩනගන්න වුවමනා නැතිලු…

‘ප්‍රේමය නම්’ වෙනස්‌ම අත්දැකීමක්‌
කලා පවුලකින් පැවත ආවද ඇය එය ආභරණයක්‌ කොට නොගෙන ඇගේ ගමන ඇගේ මාවතේ සීරුවට ගමන් කරන්නීය. විටෙක සුන්දරත්වය නිසාත් විටෙක රංගන කුසලතාව නිසාත් තවත් විටෙක දේශපාලනය නිසාත් ඇය කාගේත් කතාබහට ලක්‌විණි. දැන් ඇය පිළිබඳ කතා බහ නැවතත් කරළියට පැමිණ ඇත. ඒ “ප්‍රේමය නම්” නිසාවෙනි. “ප්‍රේමය නම්” සමාධි ඇයයි. ඈ සමනලී ෆොන්සේකා…..
ප්‍රේමය නම් චිත්‍රපටයේ සමාධි ඔබ…
ප්‍රේමය නම් වෙනස්‌ කතා තේමාවක්‌ ගත් චිත්‍රපටයක්‌. මීට පෙර මානසික ව්‍යාකූල බව පිළිබඳ කතා කරපු චිත්‍රපට කිහිපයක්‌ ඇවිත් තියෙනවා. නමුත් ඒක ගැන ඉතා සරලව කතා කරන ප්‍රේමය මුහුවුණ හරිම සියුම් තැන් ස්‌පර්ශ කරන චිත්‍රපටයක්‌ විදිහට මට ප්‍රේමය නම් චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. මං හිතනවා මැලවිලා තිබුණ ලාංකේය සිනමා ප්‍රේක්‌ෂකාගාරය යළිත් පුබුදු කරන්න පුළුවන් චිත්‍රපටයක්‌ තමයි ප්‍රේමය නම් චිත්‍රපටය කියලා.
සමාධි ලෙස රඟන සමනලිට විශ්ව ලෙස රඟන ශ්‍යාම් කොතරම් දුරට ගැලපෙනවද?
ශ්‍යාම්ගේ රඟපෑම් ගැන කතා කළොත් එයා ඉතාම දක්‌ෂ රංගන ශිල්පියෙක්‌. ඒ වගේම ඉතාම හොඳින් තමාගේ චරිතයට ප්‍රවිෂ්ඨ වෙන රංගන ශිල්පියෙක්‌. ඒ වගේම ශ්‍යාම් කවදාවත් එයාගේ පෞර්ෂය අරං එන්නේ නැහැ චරිතයකට එද්දී. ශ්‍යාම් එක්‌ක රඟපාද්දී ඇත්තටම මට මගේ චරිතයට ප්‍රවිෂ්ඨවීමත් හරිම ලේසිවුණා. රංගනයේදී අපි දෙන්නට හොඳ අවබෝධයක්‌ තියෙනවා. ඇත්තටම ප්‍රේක්‌ෂකයෝ තමයි තීරණය කරන්න ඕන අපි මේ චරිතවලට ගැලපෙනවද නැද්ද හොඳද නරකද කියලා.
ප්‍රේමය නම් චිත්‍රපටය වින්දන ආරියවංස සහ කල්පන ආරියවංසගේ පළමු චිත්‍රපට අධ්‍යක්‌ෂණය ?
මං ඇත්තටම හුඟක්‌ කැමතියි අලුත් අධ්‍යක්‍ෂවරුන් යටතේ වැඩ කරන්න. ඔවුන් හරිම කැපවීමෙන් තමන්ගේ නිර්මාණයට දායක වෙනවා. වින්දන සහ කල්පන ගත්තොත් තාක්‍ෂණය, නිර්මාණකරණය සිනමාත්මක අත්දැකීම් අතින් ඔවුන් හරිම යාවත්කාලීනයි. ඔවුන් මේ පිළිබඳව යම් කිසි හැදෑරීමක්‌ කළ දෙන්නෙක්‌.
ප්‍රේමය නම් චිත්‍රපටයේ ආදරය කියන තේමාවටත් වඩා විශ්වගේ තේමාව, ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ කතාව ඉස්‌මතු වෙනවා. ප්‍රේමය අභිබවා මේ කාරණාව ඉස්‌මතු වීම චිත්‍රපටය ප්‍රේක්‌ෂකයා වෙත ගෙන යන්න බාධාවක්‌ නෙමෙයිද?
මං හිතන්නේ ඒක තමයි අපිට තිබුණ අභියෝගය. විශ්වගේ මානසික ව්‍යාකුලත්වය ගැන මුල ඉඳන් කතා කළාට අවසානයට වෙනකොට මේ චිත්‍රපටය ප්‍රේම කතාවක්‌. මේ චිත්‍රපටය තුළ අපට තිබුණේ සාමාන්‍ය මිනිස්‌සුන්ගේ ජීවිතවල තියෙන හැඟීම්, ඒ වෙනස්‌කම්, ඔවුන් තීරණ ගන්නා ආකාරයන් වගේ දේවල් ප්‍රති නිර්මාණය කරන්න. ඉතින් අපටයේ අවසානය වෙද්දී අපි ඒ අභියෝගය ජයග්‍රහණය කරනවා.
සමනලී ෆොන්සේකා කියන රංගන ශිල්පිනිය එක දිගට එක පෙළට අපට නිර්මාණවල දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ?
ඇත්තටම නිර්මාණ මහා ගොඩක්‌ ලැබෙන්නේ නැහැ. ලැබෙන නිර්මාණ අතුරින් තෝරා බේරා ගැනීමක්‌ කළාම ඉතාම සුළු ප්‍රමාණයකට තමයි දායක වෙන්න ලැබුණේ.
ඔබේ රංගන කටයුතු හුදෙක්‌ ජනප්‍රියත්වය උදෙසාමද?
රංගනය කියන්නේ ශිල්පයක්‌. ඉතිං ඒ ශිල්පයේදී, ඒ වෘත්තියේදී ජනප්‍රියත්වය කියන එක අතුරු ඵලයක්‌, බාහිර දෙයක්‌. ඉතිං ජනප්‍රියත්වය වෙනුවෙන් රංගනයේ යෙදෙනවා නම් මං හිතන්නේ එක තමයි රංගන ශිල්පිනියක්‌ මුහුණ දෙන ප්‍රශ්නය, මගේ අරමුණක්‌ වෙලා තිබුණේ නැහැ රංගනය කියන කාරණාවෙන් ජනප්‍රිය වෙනවා කියන එක. මගේ නැන්දා ප්‍රවීණ රංගන ශිල්පිනියක්‌. එයාට ගොඩක්‌ දැන ඇඳුනුම්කම් තියෙනවා. නමුත් මං කවදාවත් නැන්දට කියලා නෑ මට රඟපාන්න ආසයි. අවස්‌ථාව අරං දෙන්න කියලා. එහෙම කතාබහක්‌ කවදාවත් අපි අතර තිබිලා නැහැ. අපි දෙන්න අතරේ තිබිලා තියෙන්නේ රංගනය ගැන සහ පවුලේ කතා බහ පමණයි.
සමනලී ෆොන්සේකා වෘත්තිමය රංගන ශිල්පිනියක්‌ද?
ඔව්… අනිවාර්යයෙන්ම.
ඔබේ පෙනුම ඔබට ලැබෙන චරිත සීමා කරලා නැද්ද?
මං හිතන්නේ එහෙම වෙලා නෑ. මාව හරියට හඳුනා ගත්තොතින් ඕනෑම අධ්‍යක්‍ෂවරයකුට මාව හොඳින් මෙහෙයවන්න පුළුවන්. හැබැයි මාත් ඒ හඳුනා ගැනීම හොඳින් කරන්න ඕනෑ. පිටපත පුරාවට ඉතාම හොඳින් චරිතයක්‌ ලියෑවිලා තියෙනවා නම් එක ඇතුලේ අපිට හැසිරෙන්න ඉඩ සීමාවන් හදලා තියෙනවා නං ඒ ඇති කියලයි මං හිතන්නේ. චරිතයකට බාහිරව රූපෙන් වෙනස්‌ වෙන්න ඕනෑ කියලා මං විශ්වාස කරන්නේ නෑ.
දේශපාලනය නිසා සමනලී ෆොන්සේකා කියන රංගන ශිල්පිනියට හානියක්‌ වුණේ නැතිද?
මං හිතන්නේ නැහැ එහෙම වුණා කියලා. මොකද ප්‍රතිරූප ගොඩනඟා ගන්න නෙමෙයි මං රඟපෑවේ. මං මේ විදිහට මේ විදිහේ දේවල් රඟපෑවොත් මගේ ප්‍රතිරූපය මෙහෙම වෙයි කියලා හිතලා මං රඟපෑවේ නැහැ. සුචරිතවාදී ප්‍රතිරූපයක්‌ ගොඩනඟා ගන්න මට කොහෙත්ම වුවමනා වුණේ නැහැ. මම ඔය කියන වැඩවල නියෑලෙමින් ඉන්නවා. එතකොට යම්කිසි ප්‍රතිරූපයක්‌ ගොඩ නැගෙන්න පුළුවන්. ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. නමුත් ඒක මට අදාළ දෙයක්‌ නෙමෙයි.
විවාහ ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
හරිම සුන්දරයි
සමනලී ෆොන්සේකා ගායකයෙක්‌ එක්‌ක ආදර සම්බන්ධයක පැටලිලා කියලා කතාවක්‌ තියෙනවා ?
ම්…. එහෙනං, සමනලී ඒ ගායකයා එක්‌ක විවාහ වෙලා කියලා ඒ කතාව අගට එකතු කරන්නකෝ..
සැමියා ගායකයෙක්‌. දෙන්නත් එක්‌ක ගීතයක්‌ ගායනා කරන්න අදහසක්‌ නැද්ද?
එයා කියන්නේ රංගනයම කරගෙන ඉන්න, ගීත ගායනා කරන්න ඕන නං එයාගේ ක්‌ලාස්‌ එකට එන්න කියලා. කොහොමටත් මං කරපු ගීතයක්‌ තියෙනවා. මගේ යාලුවෙක්‌ බලෙන්ම වගේ මට කියලා ගීතයක්‌ කෙරෙව්වා “සමනලුන්” කියලා….
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

බන්ධනාගාරයේ පාටියට නිලධාරීන් තලා පෙලා සල්ලි අරං

Shiran Viraj

අම්මා හැර ගිය පසු තාත්තා සමඟ තනිවූ පුංචි දුවට වෙච්ච දෙයක් නෑ- මහ රෑ දැරිය මොර දුන් බව අසල් වැසියෝ කියති

Shiran Viraj

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 4ට ලොකු පුටු

Shiran Viraj